යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

යොබ්බන මදය

අද අපට දක්නට ලැබෙන සමාජයේ තරුණයන් අතර බොහෝ දෙනෙකුගේ කායික විපර්යාසයන් දැකිය හැකිය. විවිධ කොණ්ඩා මෝස්තර වලින් හිස සැරසීම පච්ච කෙටීම, පා ඇඟිලිවලට මුදු දැමීම, බෙල්ලට විවිධ වර්ගයේ දන්වැල් දැමීම (පිරිමි අය) කරාඹු දැමීම ආදිය පමණක් නොව අඳින ඇඳුම් පවා විවිධ මෝස්තර වලින් සැකසුණු ඒවාය. පිරිමි පක්ෂය පමණක් නොව විශේෂයෙන්ම කාන්තා පක්ෂය ද තරුණවියට එළඹීමත් සමඟ විවිධාකාරයේ මෝස්තරයන්ට , විලාසිතාවන්ට යොමු වේ. මේ වෙන කිසිවක් නිසා නොව තරුණවියේ ඇතිවන මදය නිසාය.තරුණ සිතට මේවා ගැලපේ යැයි හැඟුණද බුද්ධිමත්ව සමාජය දෙස බලන අයට මේවා පෙනෙන්නේ විපර්යාසයන් ලෙසය.
ගියවර අපගේ අවධානය යොමුවූයේ බුදුසසුනේ චිරස්තිථිය වෙනුවෙන් කැපකළ තාරුණ්‍යයේ දායකත්වය විමසා බැලීමටයි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ යොවුන් වියේ ඇතිවන කායික වාචසික මෙන්ම මානසික විපර්යාසයක් වන යොබ්බන මදය පිළිබඳ විමසා බැලීමටයි
සාමාන්‍ය ජීවිතයේ දී මිනිසුන්ට ඇතිවන මද හෙවත් මත්වීම, උමතුවන් කිහිපයක් පිළිබඳව ධර්මයේ සඳහන්ව ඇත. එනම් ජාතිමදය,ගෝත්‍රමදය, ජීවිතමදය,ලාභමදය, සත්කාරමදය,ආරෝහ පරිනාහමදය, යෂස්මදය, රූපමදය යොබ්බනමදය ආදියයි.

තමන් උපන් ජාතිය උසස් එකක්යැයි සලකා සෙසු අය පහත් කොට සලකමින් ඒ පිළිබඳව පමණක් සිතා එයින් මත්ව කටයුතු කිරීම ජාතිමදයයි. සෙසු මදයන්ද එසේමය.තමාගේ ලාභ සත්කාර ,කීර්තිය, රූපය,ආරෝහ පරිනාහත්වය ආදිය පිළිබඳව සලකා එයින් මත්වීම,උමතුවෙන් කටයුතු කිරීමද ධර්මයේ සඳහන් වන්නේ මදයන් ලෙසය.
යොබ්බනමදය ද එසේමය. මෙය සියලු දෙනාටම පොදු වූවකි. එයට හේතුව තරුණ වියට අප කවුරුත් එළෙඹෙන බැවිනි. යොවුන් වියෙහි ඇතිවන මෙම විපරීත ස්වභාවය ධර්මයේ සඳහන් වන්නේ මෙසේය.
“අත්ථි භික්ඛවේ සත්තානං යොබ්බනේ යොබ්බනමදෝ යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති “
(අංගුත්තර නිකාය – අභිණ්හපච්චෙකඛිතබ්බට්ඨාන සූත්‍රය)
මෙයින් පැහැදිලි වන්නේ යොවුන් වියට එළඹෙන කාගේ වුවද කායික, චේතසික මෙන්ම මානසික වශයෙන් විපර්යාසයන් ඇතිවන බවයි. බොහෝ විට මේ විපර්යාසයන් තුළින් එළඹෙන්නේ අයහපත් පැත්තටය. යහපත් පැත්තට එළඹෙන අය ඇත්තේ අල්ප දෙනෙකි.
අද අපට දක්නට ලැබෙන සමාජයේ තරුණයන් අතර බොහෝ දෙනෙකුගේ කායික විපර්යාසයන් දැකිය හැකිය. විවිධ කොණ්ඩා මෝස්තර වලින් හිස සැරසීම පච්ච කෙටීම, පා ඇඟිලිවලට මුදු දැමීම බෙල්ලට විවිධ වර්ගයේ දන්වැල් දැමීම (පිරිමි අය) කරාඹු දැමීම ආදිය පමණක් නොව අඳින ඇඳුම් පවා විවිධ මෝස්තර වලින් සැකසුණු ඒවාය. පිරිමි පක්ෂය පමණක් නොව විශේෂයෙන්ම කාන්තා පක්ෂය ද තරුණවියට එළඹීමත් සමඟ විවිධාකාරයේ මෝස්තරයන්ට , විලාසිතාවන්ට යොමු වේ. මේ වෙන කිසිවක් නිසා නොව තරුණවියේ ඇතිවන මදය නිසාය.තරුණ සිතට මේවා ගැලපේ යැයි හැඟුණද බුද්ධිමත්ව සමාජය දෙස බලන අයට මේවා පෙනෙන්නේ විපර්යාසයන් ලෙසය.
වාචසික වශයෙන් බැලුවද එය එසේමය. අදවන විට තරුණවියේ දී භාවිත කරන වෙනම වාග්මාලාවන් ඇත. තරුණයන්, වැඩිහිටියන් අමතන්නේ වෙනම වචන වලිනි. ඔවුන් අතර භාවිත වන්නේ වෙනම වචනයන්ය.මේවා සඳහා වැඩිහිටියන් අවවාද දුන්නහොත් ඒ වැඩිහිටියන් තරුණයන් සලක්නේ පිස්සු අය හැටියටය. මෙය ද තරුණ වියේ ඇතිවන මත්වීම හෙවත් මදය නිසාම ඇති වන්නකි.
මානසික වශයෙන් ගත්තද, තරුණ සිතේ ඇතිවන සිතිවිලි ඉතා ආවේගශීලි මෙන්ම ස්වාධීනය. ඇතැමෙක් කිසිම කෙනෙකුගේ අවවාදයක්, අනුශාසනාවක් ඇසීමට, කන්දීමට මැලිකමක් දක්වයි.තමාට අවවාද අනුශාසනා ලබාදෙන අය සලකන්නේ කරදරකාරයන් හෙවත් තමාට අකැමැති අය ලෙසය.විශේෂයෙන් තරුණවියේ සිටින ගැහැණු දරුවන්ට මව අවවාද කරන විට හැඟෙන්නේ තමාට එරෙහිවන කරදරකාරියක් ලෙසිනි. පිරිමි දරුවන්ට අවවාද දෙන පියා දකින්නේද එලෙසිනි. තරුණ සිසුන්ට අවවාද දෙන ගුරුවරුන් ද සලකන්නේ මෙලෙසමය.බොහෝ විට තම තීරණයන් නිවැරැදියැයි ම සිතති. සමහර අය මානසික වශයෙන් යොබ්බන මදයෙන් මත්වීම නිසා අනෙක් සියලු දෙනා තමාට අවනත විය යුතුයැයි සලකති. පොදු දේවල් පිළිබඳ සැලකිල්ලක් නොදක්වයි. පාරේ ගමන් කරන්නේද පාර තමාගේ යැයි සිතාය. පාෙර්යන එන අය පිළිබඳව වාහන පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වයි.මේ නිසාම බොහෝ තරුණයන් විවිධ කරදරවලට පත්වෙති. එහෙත් බුද්ධිමත් අය මෙවැනි තරුණයන් පිළිබඳව සිතන්නේ හික්මීමක් නැති අය ලෙසය.
විශේෂයෙන් යොබ්බන මදයෙන් මත් වූ අය ආගම දහම, සදාචාරය පිළිබඳ එතරම් හැඟීමක් නොදක්වයි. බොහෝ තරුණයන් මේවා සලකන්නේ තමාට ඇති බාධක ලෙසය. ආගමෙන් දහමෙන්,සදාචාරයෙන් ඔවුන් බැඳ තබා ඇතැයි සිතයි. විලංගු දමා බැඳ තැබූ මත් වු හස්තියෙකු එය කඩාගෙන යන්නාක් මෙන් තරුණයන්ද මෙම බැමි කඩා බිඳ දමමින් යෑමට කටයුතු කරති.
ඇතැම්විට පින පිළිබඳ විශ්වාසයක් නැත. තරුණවිය යනු පින් කරන කාලයක් ලෙස නොසලකති. පින් කළ යුත්තේ මහළු කාලයේ යැයි සිතති. ආගම දහම පිළිබඳ නැඹුරු විය යුත්තේ තරුණ කාලයේ නොව මහළු කාලයේ යැයි සිතති. පොදු සම්මතය අනුව තරුණ වියේදී කෙනෙකුට යමක් ඉගෙන ගත හැකිය එහෙත් ඒ පිළිබඳ අවබෝධයක් ඇති වන්නේ මහළු වියට පත් වූ විටය. තරුණ වියෙහි සිටින අය බුදු දහමෙහි උගන්වනු ලබන යොබ්බනමදය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම අතිශය ප්‍රයෝජනවත්වේ.
මද යන්නෙහි සැබෑ අරුත නම් අවිඥානක බව යන්නය. සැබෑ අවබෝධයකින් තොරව කටයුතු කිරීම යන්න මෙයින් අර්ථවත් කෙරේ. උමතු හෙවත් මනසෙහි අවුල්බව යන්නද මෙහි තවත් අර්ථයකි. මද යන පාලි වචනයෙහි ධාතුව මද් යන්නයි. යොබ්බන මදයෙන් යුත් පුද්ගලයන් මේ පිළිබඳ සිතිය යුතුය. තමා යොබ්බන මදයෙන් මත්වී කටයුතු කරන විට බුද්ධිමත් ප්‍රජාව තමන් දකින්නේ විවිධ වචනයන්ගේ අර්ථයෙනි. එබැවින් තරුණවියට පා තබන ඔබ සමාජ සම්මතයන්ට මෙන්ම ආගම දහමට අනුව කටයුතු කරන්නේ නම් සදාචාරවත් පුද්ගලයෙකු බවට පත්වේ.
ඇතැම් තරුණයින්ට ආගමෙන් ධර්මයෙන් පලක් නැත. සම්ප්‍රදාය ගරුකරන්න අවශ්‍ය නැත. ආචාර ධර්මයන්ගෙන් ඇති වැඩක් නැත. ආදි වශයෙන් සිතා කාමයන්ට ගිජුවෙමින් අයථා ක්‍රම මගින් මුදල් සෙවීමට පෙළඹීම තම බුද්ධි ශක්තියට වඩා කාය ශක්තියට මුල් තැනක් දෙමින් කටයුතුකිරීමට පෙළඹීම දුම්වැටි මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පෞරුෂත්වය සොයා යෑමට පෙළඹීම ආදියට නිතැතින්ම යොමුවේ. බුද්ධිමත් සමාජය මොවුන් දකින්නේ නියම තරුණයින් ලෙස නොව සමාජ දූෂකයින් ලෙසය.උමතුවෙන් කටයුතු කරන්නන් නිසාය.
ඇත්තෙන්ම අප කළ යුත්තේ මේ ස්වභාවය අවබෝධ කර ගැනීමය. එනම් තරුණ කාලය යනු අපට හැමකල්හිම රැඳී සිටීමට නොහැකි කාලයක් බවයි. විටක තරුණව සිටින අප තවත් විටක මහළු බවට පත්වේ. තරුණ කාලයේ කළ දේවල් ගැන මහළු කාලයේ දුක් වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ තරුණ විය නිසරු වූවකි.යමෙක් මහළු වියේදි තමා කළ දේවල් පිළිබඳ ධර්මානුකූලව සතුටක් ලබන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ තරුණ කාලය සරු වූවකි.
එබැවින් තරුණ විය මැනවිත් තේරුම්ගෙන යොබ්බන මදය පිළිබඳව බුද්ධිමත්ව සිතා පහත් ලාමක දේට වටිනා තාරුණ්‍ය කැප නොකොට ආගමට දහමට මෙන්ම හරවත් සදාචාරවත් දේට මුල් තැනක් දෙමින් කටයුතු කරන්නේ නම් අපගේ තාරුණ්‍ය වටිනා තාරුණ්‍යයක් බවට නිතැතින්ම පත්කොට ගත හැක.