යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

දෙවි විමනක් බඳු විවාහ දිවිය

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

අපගේ අවධානය යොමුවන්නේ අංගුත්තර නිකායේ ඇතුළත් පඨමසංවාස සූත්‍රයේ එන ධර්ම විග්‍රහය විවාහක ජීවිතයට කෙසේ අදාළ කරගන්නේ දැයි විමසා බැලීමටයි.
අංගුත්තර නිකායෙහි ඇතුළත් පඨමසංවාය සූත්‍රයෙන් ඉදිරිපත් කරන්නේ සමාජයේ ජීවත්වන විවාහයට පත් පවුල් සංස්ථාවන් හතරක් පිළිබඳවය. එම විවාහක පවුල් සංස්ථා හතර මෙසේ ය.
1. ඡවෝ ඡවාය සද්ධිං සංවසති – මළ පුරුෂයෙක් මළ ස්ත්‍රියක් සමඟ වාසය කිරීම.
2. ඡවෝ දේවියා සද්ධිං සංවසති – මළ පුරුෂයෙක් දෙවඟනක් සමඟ වාසය කිරීම.
3. දේවෝ ඡවාය සද්ධිං සංවසති - දෙවියෙක් මළ ස්ත්‍රියක් සමඟ වාසය කිරීම.
4. දේවෝ දේවියා සද්ධිං සංවසති - දෙවියෙක් දෙවඟනක් සමඟ වාසය කිරීම.

ඡවෝ ඡාවාය සද්ධිං සංවසති – මළ පුරුෂයෙක් මළ ස්ත්‍රියක් සමඟ වාසය කිරීම.
ස්වාමි – භාර්යා දෙදෙනාම දුසිල්වත්ව, මසුරුමල සහිතව, ලෝභකමින්, අපිරිසුදු කමින් සෙසු අයගේ අප්‍රසාදයට ලක් වෙමින් අප්‍රසන්නව විවාහ දිවිය ගත කිරීම ධර්මයේ දී උපමා කරන්නේ මළ පුරුෂයෙක් මළ ස්ත්‍රියක් සමඟ වාසය කිරීමකටය. මෙවැනි ජීවිත ගත කරන අය කොතෙකුත් අප සමාජයේ ඇත. ඔවුන්ට ලැබෙන දරුවන් ද අප්‍රසන්නය. අන් අයගේ පිළිකුලට භාජනය වේ. දරුවන්ද අනුගමනය කරනුයේ දෙමාපියන්ගේ අයහපත් චර්යාවන් ය. දෙමාපියන්ගේ නිසි මඟපෙන්වීමක් නැතිව දරුවන් යහමගට යොමු කළ නොහැක. යහපත් දරුවන් බලාපොරොත්තු වන දෙමාපියන් අනිවාර්යයෙන්ම සුචරිතයෙහි පිහිටා දරුවන්ට අවවාදයෙන් නොව ආදර්ශයෙන් ක්‍රියා කළ යුතු ය. එසේ නොවන කළ මෙවැනි මළ පුරුෂයන් වැනි අප්‍රසන්න මෙන්ම පිළිකුල් චර්යා ඇති දෙමාපියන්ගෙන් සුචරිතවත් දරුවන් කෙසේ බලාපොරොත්තු විය හැකි ද?
මෙහි දී මළ යන්නෙන් අදහස් කරන්නේ භෞතික වශයෙන් මියයෑම නොව ගුණ ධර්ම වලින් මියයෑමයි. කිසිදු ගුණ ධර්මයක් නැති අය, ජීවත් වුව ද මළවුන් හා සමානය. මිනිසා යනු උසස් චින්තන ශක්තියක් ඇති සත්වයෙකි. සෙසු සත්වයන්ට වඩා මිනිසා වෙනස් වන්නේ ද මෙම චින්තන ශක්තිය නිසාය. එබැවින් හොඳට සිතාබලා කටයුතු කරන ස්වාමි, භාර්යාවන් කිසි විටකත් මේ මළ තත්ත්වයට හෙවත් ගුණධර්මයන්ගෙන් වියැකී යන තත්ත්වයට පත් නොවේ. ආහාර ගැනීම, නිදා ගැනීම, බියවීම හා කාම සේවනය යන මේවා මිනිසුන්ට මෙන්ම සතුන්ට ද පොදු වූ දේවල් ය. මිනිසා සෙසු සතුන් අතර විශේෂ වන්නේ හෙවත් වෙනස් වන්නේ සිතා බලා කටයුතු කිරීම හෙවත් ධාර්මික හැසිරීම නිසාමය.

ආහාර නිද්‍රා භය මෛථුනංච 
සාමාන්‍යමෙතත් පශුහිර්නාරානාම්
ධර්මෙහි තේෂාමධිකො විශේෂෝ 
ධර්මේන හීනා පශුහිං සමානාං (හිතෝපදේශය)

එබැවින් යම් පවුලක් තුළ ධාර්මික හැසිරීම හෙවත් ගුණධර්මයන් නැති නම් එම පවුල හා සෙසු සතුන් අතර වෙනසක් නොමැත. ඔවුන් තිරිසන් සතුන් හා සමානය. මෙවැනි පවුල් පසුබිමක් ඇති අය ජීවත් වුවද සමාජයට අර්ථවත් දෙයක් නොකරන බැවින් හා අයහපත් දෙයක්ම කරන බැවින් මළවුන් හා සමානය.

ඡවෝ දේවියා සද්ධිං සංවසතී – මළ පුරුෂයෙක් දෙවඟනක් සමග වාසය කිරීම
ස්වාමි දියණිය සිල්වත්ව මෙන්ම ගුණවත්ව දානමානාදිය පවත්වමින් අයහපත් දේ බැහැර කරමින් යහපත් දේ සිදු කරමින් වාසය කරන්නේ නම් දෙවඟනකි. ස්ත්‍රියකගේ වටිනාකම රැඳී තිබෙන්නේ බාහිර සැරැසිලි වලින්වත්, ඇඳුම් ආයිත්තම්වලින් වත් නොව සිල්වත්ව, ගුණවත්ව මෙන්ම බුද්ධිමත්ව පිරිසුදු චරිතයකින් යුක්ත වූ විටය. එය බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් අගයකොට ඇත. වරක් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ සාකච්ඡාවක යෙදී සිටින අතර තුර රජුගේ පුරුෂයෙක් වහා පැමිණ රජුගේ දේවිය වූ කෝසල මල්ලිකාවට දියණියක් උපන් බව දැන්වීය. එයින් රජතුමා අසතුටට පත්විය. එයට හේතුව එකල පවුලක ගැහැනු දරුවෙක් ඉපදීම එතරම් සුබ කටයුත්තක් ලෙස නොසැලකූ හෙයිනි. රජතුමාගේ අසතුට බව දැනගත් බුදුරජාණන් වහන්සේ ස්ත්‍රියකගේ වටිනාකම පහදා දෙමින් මේ ගාථා දෙකින් රජුට අනුශාසනා කළහ.

ඉත්ථිපි හි එකවච්චියා, සෙය්‍යා පොස ජනාධිප
මෙධාවිනී සීලවතී, සස්සුදෙවා පතිබ්බතා
තස්සා යො ජායති පොසො, සුරො හොති දිසම්පති
තාදීසා සුභගියා දුත්තො, රජ්ජම්පි අනුසාසතී’ති

රජතුමනි, ඇතැම් ස්ත්‍රීහු පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ වෙති. නැණවත්, සිල්වත් ස්වාමියා කෙරෙහි පමණක් සිත් ඇතිව ඔහුව දේවත්වයෙන් සලකා කටයුතු කරන ස්ත්‍රීහු වෙති. එබැවින් ඔවුන් පෝෂණය කරන්න. ඔවුහු ශ්‍රේෂ්ඨ පුත්‍රයෝ බිහිකරති. එබඳු වාසනාවන්තියන්ගේ පුත්‍රයෝ රජකම හෝ රජුගේ අනුශාසකත්වය හෝ ලබන්නාහ. යනුවෙන් වදාළහ.
එහෙත්, ස්වාමි දියණිය කෙතරම් සිල්වත්ව, ගුණවත්ව වාසය කළ ද, ස්වාමිය එය ගණනකට වත් නොගෙන බිරිඳගේ දොස්ම පමණක් සොයමින් බිරිඳට හිරිහැර කරදර කරමින් දරුවන් ගැනද නොසලකා කටයුතු කරන්නේ නම්, එම ස්වාමියා මළ කඳක් හා සමානය. බිරිඳ දෙවඟනක් මෙන් කටයුතු කළ ද ස්වාමියා මළ කඳක් මෙන් කටයුතු කරන්නේ නම් එම පවුල ද අසාර්ථකය. බිරිඳ කෙතරම් කැප කිරීම් කළ ද ඒ සියල්ල නොසලකා ස්වාමියා මත්ද්‍රව්‍ය භාවිත කරමින් අයහපත් චර්යාවන්ගෙන් යුක්ත නම් බිරිඳ කරන කැපකිරීමෙන් ඵලක් නැත. මෙවැනි පවුල් ඕනෑ තරම් අප සමාජයේ ඇත. බිරිඳ සමාජයට පෙන්වීමට සිනහ මුහුණ පෙන්නුවද ඇය දහස් වාරයක් හදවතින් තැවෙන්නියකි. සැබවින්ම මෙවැනි පසුබිමකින් යුතුව ජීවත් වන පවුල දෙවඟනක් මළ කඳක් හා ජීවත්වීමට සමානය.

දේවෝ ඡවාය සද්ධිං සංවසති - දෙවියෙක් මළ ස්ත්‍රියක් සමඟ වාසය කිරීම
ස්වාමියා බොහොම ගුණ ගරුකව ජීවත් වුවද, බිරිඳ ස්වාමියාගේ දොස්ම පමණක් සොයමින් කතාවෙන් බහෙන් මෙන්ම චර්යාවෙන් ද ස්වාමියාට රිදවමින් ස්වාමියා යටත් කිරීමට තැත් කරන්නේ නම්, යකින්නක් මෙන් නිතර නිතර ස්වාමියාට කඩා පනින්නේ නම්, ඇය වධක භාර්යාවකි. එමෙන්ම ගුණධර්මයන්ගෙන් වියැකී ගිය මළ කඳකි. එවැනි පසුබිමක් ඇති පවුලක ස්වාමියා ජීවත් වන්නේ බොහෝ සේ චිත්ත පීඩා මධ්‍යයේ ය. ඔහුට පවුල තුළ කිසිදු සතුටක් නොලැබෙයි. පවුල් පසුබිම ගැන සිතා නිතර තැවෙයි. පවුලේ දියුණුවට දරුවන්ගේ, දියුණුවට යමක් කිරීමට ඔහුට සිත් නොදෙයි. සමහර අවස්ථාවල සියදිවි නසා ගැනීමට පවා සිතෙයි. මෙවැනි පවුල් පසුබිම්වල ජීවත්වන ස්වාමියන් කොතෙකුත් ඇත. ඇත්තෙන්ම මෙවැනි බිරින්ඳෑවරුන් ඇති පවුලක ජීවත්වීම දෙවියෙක් මළ ස්ත්‍රියක් සමඟ වාසය කිරීමට හාත්පසින්ම සමානය.

දේවෝ දේවියා සද්ධිං සංවසති - දෙවියෙක් දෙවඟනක් සමඟ වාසය කිරීම
ස්වාමි – භාර්යා දෙදෙනාම සිල්වත්ව ශ්‍රද්ධාවෙන් හා කරුණු විමසා බලා කටයුතු කරන්නේ, එකිනෙකාට පි‍්‍රය වූ වදන්වලින් අමතමින් අන්‍යෝන්‍ය සෙනහසින් වාසය කරන්නේ නම් සැබවින්ම එවැනි පවුල දෙවියෙක් හා දෙවඟනක් වාසය කරන පවුලකි. ඔවුන්ට ලැබෙන දරුවන් ද දේව දරුවන් වැනි ය. දෙමාපියන්ගේ ගුණ ධර්මයන් ඔවුන් ද කුඩා කල සිටම පුරුදු පුහුණු වෙති. ඔවුන්ගෙන් සමාජයට කිසි කලකත් යහපතක් මිස අයහපතක් සිදු නොවේ.
මෙවැනි පවුල් අපට දැකගත හැකි වන්නේ කලාතුරකිනි. දෙවියන් මෙන් ගත කළ හැකි විවාහ දිවිය බොහෝ දෙනෙක් අර්ථශූන්‍ය ලෙස ගත කිරීමට හුරුව තිබීම කනගාටුදායක තත්ත්වයකි. බොහෝ දෙනෙක් සිතනුයේ හොඳට කා බී සමාජයට පෙන්වීමට ඇද පැළඳ සිටීමෙන් පමණක් විවාහ දිවිය සාර්ථක වේ කියාය. එහෙත් මුදල් තිබුණ නිසාවත්, භවභෝග සම්ත් තිබුණ නිසාවත් විවාහ දිවියක් සාර්ථක නොවේ. සාර්ථක විවාහ දිවියක් සඳහා සැබවින්ම අවශ්‍ය වන්නේ දෙදෙනාම එක හා සමාන ගුණධර්මයන්ගෙන් සමන්විතව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව එකිනෙකා කෙරෙහි සෙනහසින් කටයුතු කරන අඹු සැමියන්ය. මෙවැනි පවුලක් සැබවින්ම දෙවියන්ය. ස්වාමියා දෙවියෙකි. ස්වාමි දියණිය දෙවඟනකි.
පංචශීල ප්‍රතිපදාව තුළින් ද බුදුදහම පෙන්වා දී ඇත්තේ මෙවැනි ගුණගරුක යහපත් පවුල් පසුබිමක් ය. අඹු, සැමි දෙදෙනාම හදවතින්ම පංචසීල ප්‍රතිපත්තිය අනුගමනය කරමින් කටයුතු කරන්නේ නම් එවැනි පවුල් පසුබිමක කිසි දිනක ගැටුම් ඇති නොවේ. බුදුදහම අගය කරන්නේ මෙවැනි පවුල් පසුබිමක්ය. බුදුදහමින් උපදෙස් ලබා දෙන්නේ ද මෙවැනි පවුල් පසුබිමක් නිර්මාණය කිරීමටය.