යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

දේවත්වයට පත්වන භාර්යාව

මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

උඳුවප් පුර පසළොස්වක පොහොය දින ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ම අතිශ්‍රේෂ්ඨ දවසක් බවට පත් වෙනවා. එයට ප්‍රධානතම හේතුව දැනට මේ ලෝකයේ ජීවමාන අති පෞරාණික වෘක්ෂය ලෙස සම්භාවනාවට ලක්ව අනුරාධපුර උඩමලුව විහාරයෙහි ජීවමාන ශ්‍රී මහා බෝධීන් වහන්සේයි.
එදා ධර්මාශෝක මහරජතුමාගේ ධර්මවිජය ප්‍රතිපත්තිය යටතේ දඹදිවින් ඒ ඒ ප්‍රත්‍යන්ත දේශවලට පමණක් නොව රටවලට පිරිසුදු බුදුදහමේ පණිවුඩය ධර්මදූත පිරිස් මඟින් පිටත් කර යවන අවස්ථාවේ ශ්‍රී ලංකාවට වැඩම කළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රහත්බවට පත්ව සිටි භික්ෂූන් වහන්සේ පස්නමක් හා සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් උපාසකවරයාත් ය. අනතුරුව මේ රටේම කාන්තා පක්ෂයෙන් නැගුණු බලවත් ඉල්ලීම නිසා ම කාන්තා පක්ෂයට ද භික්ෂුණි ශාසනද්වාරය විවර කිරීමක් ලෙස සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා දඹදිව බුද්ධගයාවේ එදා ජීවමාන ජය ශ්‍රී මහා බෝධි රාජයාගේ දක්ෂිණ ශාඛාව ද වැඩමවාගෙන ආවේ ශ්‍රී ලංකාවේ රජකම් කළ දෙවනපෑතිස් මහරජුට පිදෙන තිළිණයක් ලෙසටයි. මෙම දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකා මහරජතුමාගේ ප්‍රධානත්වයෙන් මහමෙවුනා උයනේ රෝපණය කෙරුණා. කෙසේ වුවත් එදා මහරහත් භික්ෂුණියක් වශයෙන් සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීම කාන්තාවක් ලද විශිෂ්ට වරප්‍රසාදයක් ම වූවා. මේ නිසා ම නිසි කාන්තාවට නිසි අවස්ථාවේ සමස්ත සමාජයේ ම පූජනීයත්වය ද හිමි වූවා.

කාන්තාවගේ පරිහානි ලකුණු

කාන්තාව විසින් බුදුදහමේ පහසින් ලද මේ පූජනීයත්වය, ගරුත්වය ආරක්ෂා කර පවත්වාගෙන යාමේ වැදගත්කම අද දවසේ අපේ විමසුමට ලක් විය යුතුව පවතිනවා. එයට හේතුවකුත් තිබෙනවා. ඇතැම් කාන්තාවන් පිළිබඳ අසාමාන්‍ය පරිහානිය ලක්ෂණයන්ගෙන් යුක්ත බවට හැම පැත්තෙන් ම අසන්නට දකින්නට ලැබෙනවා. මෙහි දී දුරාචාරය, පවුල් අවුල් කර ගැනීම, දරු සෙනෙහස අහිමි කිරීම, දෙමාපියන් බලුකූඩුවල, වැසිකිළි කාමරවල සිර කර තැබීම, මත් ද්‍රව්‍ය ව්‍යාපාර කටයුතු විවිධ භයානක රෝග තත්ත්වයන් සමාජයේ ව්‍යාප්ත කරලීමේ මාධ්‍යයක් බවට පත්වීම මේ අතර ප්‍රධාන තැනක් ලන්නට මේ නිසා අපේ කල්පනාවට නැගෙනවා. බුදුරජාණන් වහන්සේ දවස විසූ ශ්‍රේෂ්ඨ කාන්තාවන් පිළිබඳ තොරතුරු, සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ සිහියට නැගෙන අද දවසේ අපේ මනැස කාන්තාව කෙරෙහි යොමු කිරීම වැදගත් වෙනවා.
අපේ බුදුරජාණන් වහන්සේ කාන්තාව පිළිබඳ සූත්‍ර දේශනා රාශියක් ම ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර ඉතා වැදගත් සූත්‍ර දේශනාවක වන්නේ නකුල මාතා උපාසිකාව අරමුණු කර දේශනා කර තිබෙන නකුල මාතුමනාපකායික සූත්‍රයයි. මෙම සූත්‍රය සුසංසුමාරගිරි පර්වතය ආශි‍්‍රතව හේසකලා වනයෙහි වැඩ විසූ බුදුරජාණන් වහන්සේ නකුල මාතාවට දේශනා කළා. සැබවින්ම මේ නකුල මාතාව අපේ ශාසන ඉතිහාසයෙහි ප්‍රකට බෞද්ධ උපාසිකාවක්, ඇය ස්ත්‍රියකට අවශ්‍ය ගුණාංගයන්ගෙන් සමන්විත වූවා. එයට හේතුව ඇය බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය පන්සිල් ආරක්ෂා කළ හොඳ කුලකාන්තවක් වූ නිසයි.

අලස නොවීම හා පි‍්‍රය වචනය

කාන්තාවක් තුළ තිබිය යුතු පළමු වැනි ගුණාංගය ලෙස මෙම සූත්‍රයෙන් කියැවෙන්නේ කාන්තාවගේ ජීවිතය සඵල වන්නේ වඩාත් සාර්ථක අඹුසැමි ජීවිතයක් තුළින් කාරණය යි. එහි දී දෙමාපියන් විසින් තම දියණියගේ යහපත පිණිස වඩාත් කල්පනාකාරීව මනාගති පැවතුම් ඇති පුරුෂයෙකු තෝරා බේරා විවාහ කර දීම පළමු වැනි අවශ්‍යතාව වෙනවා. මෙය ඉතාමත් අරපරෙස්සමෙන් කළයුතු කාර්යයක් එහෙම වුවොත් පමණයි තම දියණියට යහපතක් වන්නේ . එසේ පාවා දෙනු ලබන මේ කාන්තාව පාවා දුන් පසු ඇගේ අත ගත් ස්වාමිපුරුෂයා පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය ඊ ළඟට වැදගත් වෙනවා. ඇය ස්වාමිපුුරුෂයාට කලින් අවදි වෙන්නට ඕන. එමෙන්ම ස්වාමිපුරුෂයා නින්දට ගිය පසු තම රාත්‍රී නින්දට යාම සිදු කළ යුතු වෙනවා. එමෙන්ම ස්වාමිපුරුෂයා වෙනුවෙන් තමන් විසින් කළ යුතු දේ කුමක්ද? කියා ඔහුගෙන් විමසා ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්. එමෙන්ම ස්වාමිපුරුෂයාගේ සිත් ගන්න ආකාරයෙන් හැසිරෙන ස්වාමිපුරුෂයාට වගේම නිවසට යන එන ආගන්තුකයන් සමඟ පවා පි‍්‍රය වචන කතා කරන සුහදව ක්‍රියා කරන තැනැත්තියක් බවට පත් වීම ද අවශ්‍යම කරුණක්.

නැදි මයිලන්ට සෙනෙහස

එමෙන්ම තවත් ඉතා වැදගත් දෙයක් තමා තමන්ගේ ස්වාමිපුරුෂයාගේ දෙමාපියන් පිළිබඳව තම දෙමාපියන් සේම සලකා ඔවුන්ට ආදරයෙන් සැලකිල්ලෙන් ස්වාමිපුරුෂයාගේ ද සිත පිනවන ආකාරයෙන් සැළකිලි දැක්වීම ස්වාමිපුරුෂයා හමුවීමට එන ආගන්තුකයන්ට සැලකිලි සංග්‍රහ කිරීම පමණක් නොව ස්වාමිපුරුෂයා ගරු කරන පුද පූජා දක්වන මහණ බමුණන් වැනි යම් පිරිසක් වෙයි නම් තමන් කුමන මතයක් දැරුවත් ඒ ගැන නොසලකා ඒ ඒ අවස්ථාවන්හි දී ස්වාමිපුරුෂයාට ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් තමනුත් ඔවුන් කෙරෙහි සුහදව පැමිණෙන එවැනි පූජකවරුන් දුටු සැණින් අසුනින් නැගිට කළයුතු සියලු වතාවත් පුද පූජා කොට ස්වාමිපුරුෂයාගේ සිතට සැනසීමක් ලබාදෙන ආකාරයෙන් ක්‍රියා කිරීම. මෙහිදී අදවැනි යුගයක භාර්යාව පුරුෂයා ආගම් දෙකක් අදහන අවස්ථාවක වූවත් එය ගෘහ ජීවිතයට බාධාවක් නොවන ආකාරයෙන් ක්‍රියා කළ යුතු ආකාරය කියැවෙනවා. අද අපේ සමාජයේ ඇතැම් අඹුසැමියන් මෙවැනි අවස්ථාවල බොහොම ආදර්ශමත්ව තම ආගම් වෙන වෙනම අදහන ආකාරය පෙනේ. ස්වාමිපුරුෂයාට සැම සහයක් ලබාදීම -
තම ස්වාමිපුරුෂයා තම පවුලේ නඩත්තුව පෝෂණය පමණක් නොව පවුලේ ඉදිරි දියුණුව අරමුණු කොට ධනය උපයන මාර්ග තෝරා ගෙන ඒවා කරගෙන යන විට ඒ සියල්ල පිළිබඳ හොඳ විමසීමකින් ක්‍රියා කිරීම භාර්යාවගේ පරම යුතුකමක් වෙනවා. මෙහිදී විමසීමක් ඇතිව ක්‍රියා කරනවා. යන්නෙහි අදහස ඉතා වැදගත් වෙනවා. එම සියලු ධනය උපයන කර්මාන්ත සංවිධානයෙහි දී ඒවා ධාර්මිකව සිදු කළ යුතු ආකාරය යම් යම් අවස්ථාවල ඉතා සුහදව ස්වාමිපුරුෂයාට පෙන්වා දෙමින් හොඳ නරක විපාක සුදුසු අවස්ථාවෙහි කරුණු සහේතුකව පහදා දෙමින් ක්‍රියා කිරීමයි. මෙයින් අදහස් කරන්නේ එයින් ස්වාමිපුරුෂයාගේ මනා පැවැත්මට පමණක් නොව ඔවුන් නිසා සමාජයට එක්වන දරු මුණුබුරන්ට පවා එය යහපත පිණිස පවතිනවා. එමෙන් ම මේ ආකාරයෙන් මනා වූ කර්මාන්තවල භාර්යාව ද දක්ෂ ලෙප උදාසීන නොවී උත්සාහයෙන් වීර්යයෙන් ඒවාට සහාය ලබා දෙමින් ක්‍රියා කිරීමත් වැදගත් වෙනවා.

සේවක සේවිකාවන්ට සැලකීම

මෙසේ අනලස්ව තම ස්වාමිපුරුෂයාගේ ධනය ඉපයීම ආදී කර්මාන්තවලදී සමහර විට සේවක පිරිස් ඒ සඳහා යොදා ගන්නවා. ඒ අය අතර විවිධ තරාතිරම්වල සේවකයන් සිටීමට පුළුවන. කම්කරුවන් ලිපිකරුවන්, විධායක මට්ටමේ නිලධාරීන් ආදි නොයෙක් දෙනා ඒ අතර වෙනවා. ඔවුන් පිළිබඳ හොඳ අවබෝධයක් මෙසේ අනලස්ව යෙදෙන භාර්යාවට ද ඇති වෙනවා. ඉතින් එවැනි අවස්ථාවල එක් එක් අය ගැන වෙන් වෙන් වශයෙන් ගුණා ගුණ කියන්නට ඇය ශක්තිමත් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ සුදුසු අවස්ථාවේ තම ස්වාමිපුරුෂයාට ද සාධාරණව මධ්‍යස්ථව කරුණු පෙන්වා දෙමින් අඩුපාඩු අවම කර ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. එය දියුණුවට ලොකු ශක්තියක් බවට පත්වෙනවා. එමෙන් ම ඒ ඒ අය අතර විවිධ රෝගාබාධ වැනි තත්ත්ව ඇති අය සිටිනවා. ඔවුන් පිළිබඳව අවශ්‍ය සුබසාධකයන් සලසා දීමට තම ස්වාමිපුරුෂයා දැනුවත් කිරීමේ හැකියාව ද භාර්යාවට ඇති වෙනවා.

ස්වාමිපුරුෂයා උපයන ධනය ආරක්ෂා කිරීම

ඊළඟ පියවර තම පවුලේ ප්‍රගතියට අතිශයින් උපකාරවෙනවා. එය තමා තමන්ගේ ස්වාමිපුරුෂයාට මේ ආකාරයෙන් විමසුම් සහිතව උපරිම සහයෝගයක් ලබා දෙමින් එම කර්මාන්ත හෝ රැකියා කටයුතු සාර්ථකව සිදු කරගන්නට අවශ්‍ය පසුබිම ශක්තිමත් කළ පසු එයින් විශාල වශයෙන් ධනය ඉපයීමක් සිදු වෙනවා. එම ධනය ඉපැයීමේ ක්‍රමය ගොවිතැනක්, කර්මාන්තයක්, රැකියාවක් වැනි ඕනම දෙයක් වෙන්නට පුළුවන්. මේ කුමකින් හෝ ලැබෙන ප්‍රතිලාභ මැනවින් ආරක්ෂා කරගෙන සුදුසු දේ සඳහා එම ධනය යෙදවීමට, ලැබෙන ධනය රන් රිදී හෝ වෙනත් මුදල්, ධාන්‍ය වැනි දෙයක් වෙන්නට පුළුවන්. ඒවා සියල්ල වංචනික නො වී සොර සිත හෝ සටකපට සිත්වලින් තොරව ආරක්ෂා කර දීම ද ඇයගේ බරපතළ වගකීමක් වෙනවා.

තෙරුවන් සරණ ගිය සැබෑ උපාසිකාවක් වීම

මෙතෙක් සාකච්ඡා කෙරුණු මේ පියවරයන් පහම සාර්ථක කර ගන්නට අවශ්‍ය කරන මූලික ම අවශ්‍යතාවක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වා දී තිබෙනවා. එය නම් මෙම කාන්තාව හොඳ ධාර්මික පසුබිමක් ඇත්තියක වීමයි. එය සඵල වන්නේ ඇය සැබෑ උපාසිකා යන වචනයට සුදුසු පැවැත්මක් ඇතිව ක්‍රියා කරන්නියක් නම් පමණයි. උපාසිකා යන වචනය බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව යම් කාන්තාවක් පිළිබඳ යොදන්ට හැකි නම් එය උත්තම ගණයේ ගරු නාමයක් බවට පත් වෙනවා. එසේ නම් උපාසිකාවක් වීමට අවශ්‍ය මූලික ම අවශ්‍යතාව වන්නේ යම් කෙනෙක් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය පිහිට කොට සරණ කොට ජීවත් වීමයි.

පස් පව්වලින් වැළකීම

කාන්තාවගේ ශ්‍රේෂ්ඨත්වයට බලපාන හත්වැනි කරුණ වන්නේ පන්සිල් ආරක්ෂා කරන දැහැමි කාන්තාවක් බවට පත් වීමයි. මේ සිල්පද පහ ගත්තහම සතුන් මැරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම හා මදයට සමාදයට හෙවත් සසර දිගු කර ගැනීමට හේතු වන සිහියෙන් තොරවීම යන කරුණු හතරට ම හේතු වෙන මත් ද්‍රව්‍යයන්ට ගිජුවීම, ඇබ්බැහි වීම නිසා පුද්ගලයාගේ ජීවිතයට බරපතළ හානියක් සිදු වෙනවා. ඒ කරුණු හතරෙන් යම් කෙනෙක් වැළකුණොත් ඔහු තමන්ගේ පමණක් නොව අනුන්ගේ ද ජීවිත ආරක්ෂා කරන තමාටත් අනුන්ටත් මෙත් සිතින් ක්‍රියා කරන අයෙක් වෙනවා. ස්ත්‍රිය මේ කරුණෙන් ශක්තිමත් වීම දරුවන්ටත්, ස්වාමිපුරුෂයාටත් නැදි මයිලන්ට පමණක් නොව සමාජයට ම පි‍්‍රයමනාප වීමට හේතු වෙනවා.

පරිත්‍යාගශීලි බව

අවසාන හෙවත් අටවැනි ගුණයෙන් ද කාන්තාවගේ පූජනීයත්වය වැඩි වෙනවා. එය තමා කාන්තාව පරිත්‍යාගශීලී වීම, යමක් ඉල්ලගෙන තමා හමුවට එන අයට යමක් දීමට යොමු වීම, මසුරු බව අත්හැරීමට යොමු වූ පරිත්‍යාග චේතනා ඇතිව එවැනි ශ්‍රමදාන, යාචක දාන, අසරණ අය දුටු විට ඔවුන්ට යම් යම් අවශ්‍ය දේ හැකි පමණින් සංවිධානය කොට සපයා දීමෙන් පිළිසරණ වීම, තමන් ධනයෙන් ශක්තිමත් නම් දුකට පත්ව සිටින තම ඥාතීන් පිළිබඳවත් අසරණ පිරිස් පිළිබඳවත් විවිධ පරිත්‍යාග කරමින් වෙනත් එවැනි සංවිධාන කරමින් ඒවායෙහි යෙදීම ආදි කටයුතුවල කාන්තාව යෙදිය යුතු වෙනවා. මේ සියලුම ඉහත කියැවුණු චරිත ලක්ෂණ අටම කාන්තාවක් තුළ වැඩිදියුණු කිරීමෙන් කාන්තාව ශ්‍රේෂ්ඨත්වයට මෙන්ම පූජනීයත්වයට පත් වෙනවා.