යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

දූරදර්ශී මව් පියන්ගේ දැක්ම

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ

මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි
හැන්ඳෑව බොහෝම මනස්කාන්ත ලෙස පවුලේ සියලු දෙනාම එක්කාසු වී බුදුන් වැඳ, දෙමාපියන්ට වන්දනා කරලා, එකම වෙලාවට ආහාර අරගෙන පත්තර කියවීම, පොත් කියවීම, ලිවීම, ගැයීම, ඇතැම්විට වාදනය කිරීම්, කතන්දර කීම්, බුද්ධි පරීක්‍ෂණ, ගායනා සහ සාකච්ඡා කියන කොටස තමයි දිනපතාම කළ යුත්තේ. එය ආයෝජන ප්‍රවර්ධන  කාලයක් සහ කලාපයක් වන්නේ එවිටයි
සැබවින්ම ඔබ දරුවන්ට ආදරෙයිද? මේ ප්‍රශ්නය ඕනෑම අම්මා කෙනකුගෙන් විමසුවත්, ඕනෑම තාත්තා කෙනකුගෙන් විමසුවත් ප්‍රශ්නය ඇසීම පිළිබඳව විමතියකට පත්වෙනවා මිසක්, “ඔව්” කියන උත්තරය හැර වෙන උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව මෙම ප්‍රශ්නය නගන්නේ ඇයිද? යන්න විමතියට පත්වනවා. මෙම ලිපිය ආරම්භයේ දී ඔබ පිළිතුරු දෙන “ඔව්” කියන පිළිතුර ලිපිය අවසානයේදීත් “ඔව්” කියන පිළිතුර ලැබුණොත්, ඒක පිළිතුරු දෙන්නාටත් ප්‍රශ්නය අසන්නාටත් සතුටට කාරණයක්.
එසේ නොවෙයි නම් කනගාටුවට කාරණාවක්. දෙමාපියන් දරුවන්ට ආදරෙයි නම්, දරුවන්ට දිය යුත්තේ අද දවසට ගැළපෙන දේ නොවෙයි, හෙට දවසට ගැළපෙන දේ පමණයි. අද 2014 එක වසරේ ඉන්න ළමයා 2028 දී වයස අවුරුදු 20 ක තරුණයෙක් හෝ තරුණියක්. එදා දවසට ඕන කරන දේ පමණයි එදාට වටිනාකමක් තියෙන්නේ. මීට අවුරුදු 50 කට පමණ පෙර ගමේ ලොකුම පරමාදර්ශී චරිත බවට පත්වෙලා හිටියේ ග්‍රාමසේවක රාලහාමි, මැම්බර් මහත්මයා සහ රියදුරු මහත්මයා වැනි රැකියාවල යෙදුනු අය. එදා දවසට ගැළපෙන්න එම දෙමාපියන් දරුවන් තැනුවා නම්, ඔවුන් මේ වන විට ග්‍රාමසේවක රාළහාමි හා රියදුරන් ය.
දූරදර්ශී මවකගේ සහ පියකුගේ දැක්ම විය යුත්තේ එදා කාලයට දරුවන් තැනීම නොව, වසර ගණනාවක් ඉදිරියට ගැළපෙන ආකාරයට දරුවන් තැනීමය. 2014 සිටින දෙමාපියන් අද දවසේ සමාජය ගැන හිතලා, දරුවන්ට උගන්වන විට තවත් අවුරුදු 15කින්, මව සහ පියා තව වසර 15 කින් වයසට යනවා වගේම දරුවාටත් තව අවුරුදු 15 එකතු වන විට 2028 වන විට ඒ දරුවාට වයස අවුරුදු 20ක් වෙනවා. අද දවසට ගැළපෙන දේ ඉගැන්වීම ප්‍රමාණවත් ද? රට ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා.
කොතරම් වේගයෙන් වෙනස් වෙනවාද යත් 1993 තිබුණ රටයි 2013 තියෙන රටයි අතර වසර 20 ක කාලයක විශාල වෙනසක් තිබෙනවා. ඒ අවුරුදු 20ට රට අලුතෙන් හොයාගන්න බැරි තරමටම වෙනස් වෙලා. ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, අධ්‍යාපනික වශයෙන්, මානව අවශ්‍යතා වශයෙන් ද වෙනස්. මේ වෙනස, එදා සිට අද දක්වා සිදු වූ ආකාරයටත් වඩා වේගයෙන් අද සිට 2028 දක්වා ගමන් කරනවා.
අද අධ්‍යාපනය ලබන දරුවා හෙටට නොගැළපුණොත්, ඔවුන් අන්දමන්ද වී අතරමං වෙනවා. අද වන විට ලංකාවේ ඉංගී‍්‍රසි ඉගැන්වීම බොහෝම ජනපි‍්‍රය දෙයක් වුවත් තව අවුරුදු 20 කින් ඉංගී‍්‍රසි එතරම් වටිනා දෙයක් නොවන්නටත් පුළුවන්.
නූතන දෙමාපියන් කෙතරම් බුද්ධිමත්ද? දූරදර්ශීද, ඥාන සම්පන්නද? හෙට දවසට වුවමනා කරන චීන, කොරියන් ජපන් වැනි භාෂාවන් ලාංකික දරුවන්ට උගන්වන්න අද දවසේ දෙමාපියන් හරිම කැමැත්තෙන්, දරුවන්ව පරිගණක දැනුම ලබාගන්න යොමු කරනු ලබනවා. ඒ තරමටම පරිගණක දැනුම අදට අවශ්‍ය නිසා. අද වෘත්තිකයන් හැටියට සිටින අයට අද සේවාස්ථ පුහුණුවලට යන්න සිදුවෙලා තියෙනවා.
පරිගණක තාක්‍ෂණය ඉගෙන ගැනීම සඳහා එහෙම වෙන්නේ එම පරිගණක තාක්‍ෂණය අදට වුවමනා නිසා. හැබැයි හෙට වන විට පරිගණක දැනුම නැතිව දරුවන් ඉපදෙන්නේ නැහැ. ජංගම දුරකතනය තුළින් වුවත් අප නොදන්නා බොහෝ දේ පිළිබඳව දරුවන් දැනුවත්වය. අද වන විට පරිගණක තාක්‍ෂණය ද සහිත ජංගම දුරකතන වෙළඳපොළේ ඕනෑතරම් දක්නට ලැබෙනවා වුවත්, තව අවුරුදු දහයක් විතර යන විට ජංගම දුරකතනය නැතිවෙන්න ඉඩ තිබෙනවා.
කනේ කරාබුවක් වගේ යමක් සහ කට වටේ කිසියම් ස්ථානයක ස්ටිකර්ස් දෙකක් ඇලවීමෙන් හැබෑවටම දැනගන්න වුවමනාව තියෙනවා. ජංගම දුරකතනයක අවශ්‍යතාවය දරුවන් වර්ධනය වන වේගයත් ඒ ආකාරයි. තව අවුරුදු 20කින් අපේ දරුවෝ විවාහයක් විය යුතු වගේම රක්‍ෂාවක් කළ යුතු වෙනවා. ඔවුන්ට හොඳ ශරීර ශක්තියක් වගේම සෞඛ්‍යයක් තිබිය යුතු යි. නිරෝගී පිරිසක් විය යුතුයි. දෙමාපියන් ළමයින්ට කෑම බීම දෙන්නේ දරුවන්ගේ නිරෝගී බව හිතලද? නැතහොත් දරුවාගේ ශක්තිය ගැන හිතලද? ආහාර ලබා දෙන්නේ අද දින අම්මාගේ පහසුව ගැන හිතලද? නැතහොත් හෙට දින දරුවාගේ නිරෝගී ශක්තිමත් බව හිතමින්ද දෙමාපියන් දරුවන්ට ආහාර ලබාදෙන්නේ. ක්‍ෂණික කෑම වර්ගවල විශාල වශයෙන් දියවැඩියා රෝග කාරක තිබෙන්නට ඉඩ තිබෙනවා. ඒත් එක්කම බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නත් ඉඩ තිබෙනවා.
ඇතැම්විට පලතුරුවලත් තියෙනවා. මේවා දරුවන්ට ආහාර වශයෙන් ලබාදෙන දෙමාපියන් ඇත්තටම දරුවන්ට ආදරෙයිද? උදේ පාන්දර නැගිටල පිටරටින් ගේන පිටි පැකට්ටුවකින් පොඩ්ඩක් දියකරල දෙන දෙමාපියන් ඇත්තටම දරුවන්ට ආදරෙයිද? සාමාන්‍යයෙන් කිරි කඳුළක් දොවාගත් විට පැය 24 ක් යන විට නරක් වෙනවා. ඒ කිරිවල ස්වභාවයයි.
රස සහ මවගේ පහසුව ගැන හිතමින් දරුවාට පිටි දෙනවාට වඩා සිතිය යුත්තේ හෙට දරුවාගේ ශක්තිය ගැනයි. ලංකාවේ දරුවන්ට බලය සහ ශක්තිය ජවය ලැබුණේ පැකට් කිරි බීල කියලා ඔප්පු කළ හැකිද? කිසියම් ආකාරයක පිටි විශේෂයක් බීල මොළය වර්ධනය වූවා යැයි තර්කානුකූලව ඔප්පු කළ හැකිද? රතුයි, කොළයි පාට දෙකේ වෙනස අප තෝරාගත්තේ කිරි බීලද? පූසා සහ සිංහයා අතර වෙනස අපි තේරුම් ගත්තේ කිරි බීලද? ගණිත ශක්තිය සහ දුවන්න හැකි ශක්තිය අපි ලැබුවේ කිරි බීලද? කොස්, පොළොස් මැල්ලුම්, පලාවර්ග ලංකාවේ ධාන්‍ය වර්ග, ඇල් වී, කාලද අපි ජවසම්පත් වුණේ නැත්නම් පැකට් කළ කිරි බීලද?
මුළු පරිසරයම හරිතවර්ණයි. එම හරිත වර්ණ වනාන්තරයේ මුල අග දෙක බැලූ විට අපට උදෙන්ම නැගිටලා කැඳ බීමේ හැකියාව තියෙනවා. ගෙය වටේ වවාගත හැකි පලාවර්ගයකින් කැඳ හදා ගත හැකියි. එහෙම නොහදන්නේ මවගේ පහසුව බැලීම සහ කිරිවල ඇති රසය නිසයි. එවිට දරුවාගේ අනාගතය වඩා රස හා පහසුව ගැන දෙමාපියන් වැඩිපුර අවධානයක් යොමුකරනු ලබනවා. ඇත්ත වශයෙන්ම දරුවන්ට දෙමාපියන් ආදරෙයිද?
දරුවන් අලුතෙන් යමක් දැනගන්න කැමති පිරිසක්. ළමයින්ගේ චරිත සංවර්ධනය, ආකල්ප සංවර්ධනය, බුද්ධි සංවර්ධනය කියලා කියන සංවර්ධන තුන ආයෝජනයක් නම්, එම ආයෝජන ප්‍රවර්ධන කාලය ගෙදරක තියෙන්නේ හවසටයි. ආයෝජන ප්‍රවර්ධන කලාපය වෙන්නේ, කුස්සියයි. සාලයයි. හවසට කුස්සියයි සාලයයි දරුවන්ගේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා ප්‍රයෝජනවත් වෙනවාද? අපි පොඩි කාලයේ අපේ දෙමාපියන් කතන්දර, කියලා, දුන්නා වගේම කවි කියලා දුන්නා.
හවසට දෙමාපියන් දරුවන් සමඟ පාසලේ වැඩ කරලා සමහර විට සෙල්ලම් කළා. බුද්ධි පරීක්‍ෂණ, ප්‍රහේළිකා වැනි දේවල් නිරතුරුව කළා. ඒකෙන් දරුවන් දෙමාපියන් අතර අනවරත සම්බන්ධයක් ඇතිවුණා පමණක් නොවෙයි බුද්ධි සහ දැනුම ප්‍රවර්ධනීය අවස්ථාවක් බවට ආයෝජන ප්‍රවර්ධන කලාපයක් සහ කාලයක් ගෙය තුළ නිර්මාණය වුණා. රෑ වෙනතෙක් දරුවන් බලා සිටිනවා කතන්දර අහන්න.
මව පියා සහ දරුවන් අතර සහ සම්බන්ධතාවය මනස්කාන්ත විදිහට වර්ධනය වුණා. ඕනෑම දෙයක් ගෙදර කතාකළ හැකි පරිසරයක් නිර්මාණය වුණා. හැම ජනකතාවක්ම, ජන ගීයක්ම දැනගැනීමට දරුවන්ට නිරායාසයෙන්ම හැකිවුණා. අම්මා සහ තාත්තා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරුන් බවට පත් වුණා. අද වන විට හැන්දෑව විද්‍යුත් මාධ්‍යයට බාරදීල තියෙනවා.
හැම කෙනෙක්ම ගිල ගැනීම උදෙසා වෙහෙස මහන්සිවෙලා ගෙදර පැමිණිවිට අපේ තෘප්තිය සඳහා රූපවාහිනියවත් තිබෙනවාය කියන තැනට නොවෙයි තිබිය යුත්තේ. මෙම හැන්ඳෑව බොහෝම මනස්කාන්ත ලෙස පවුලේ සියලු දෙනාම එක්කාසු වී බුදුන් වැඳ, දෙමාපියන්ට වන්දනා කරලා, එකම වෙලාවට ආහාර අරගෙන පත්තර කියවීම, පොත් කිවීම, ලිවීම, ගැයීම, ඇතැම්විට වාදනය කිරීම්, කතන්දර කීම්, බුද්ධි පරීක්‍ෂණ, ගායනා සහ සාකච්ඡා කියන කොටස තමයි දිනපතාම කළ යුත්තේ. එය ආයෝජන ප්‍රවර්ධන කාලයක් සහ කලාපයක් වන්නේ එවිටයි.
විද්‍යුත්මාධ්‍යය ඉදිරිපිට කාලය නාස්ති කිරීමෙන් ඒක ලැබෙන්නේ නැහැ. ඔවුන්නොවුන් එකිනෙකාගෙන් දුරස්වීම්, අවබෝධය නැතිවීම පමණයි. ඉතාමත් වටිනා රාත්‍රි කාලය අර්ථසම්පන්න වෙන්නේ මේ ආකාරයට කටයුතු කිරීමෙනුයි.
මේ ආකාරයට කටයුතු කරන්නේ නැත්නම් ඇත්තවශයෙන්ම දරුවන්ට ආදරෙයිද? ‘පුත්ථාවත්ථු මනුස්සානං’ පුතුන් වස්තුන්ය. එවැනි ආකාරයක් දක්නට නැහැ. බුදුපියාණන් වහන්සේට වන්දනා කරන අපි තරමක් හෝ ඊට අනුගතව කියන කාරණාවන් පිළිපදින්නේ නම්, නිහතමානී හා ඤණදර්ශී වුණොත් හැර බුද්ධවන්දනා කරන්න සුදුසු ද.
සටහන: හේමමාලා රන්දුනු