යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් උපදෙස්

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
මහරැඹෑවැවේ පාලිත හිමි

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් ගත හැකි උපදේශයන් පිළිබඳ විමසා බැලීමටයි. එහි දී අපි මහා මංගල සූත්‍රයේ සඳහන් තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කළෙමු. මෙවර අපගේ අවධානය යොමුවන්නේ මහා මංගල සූත්‍රයේ සඳහන් ඉතිරි කරුණු සාර්ථක විවාහ දිවියකට කෙසේ අදාළ කරගන්නේ දැයි විමසා බැලීමටයි.

සන්තුට්ඨි

සන්තුට්ඨි යන්නෙන් අදහස් වන්නේ ලද දෙයින් සතුටුව සැහැල්ලු දිවියක් ගත කිරීමයි. සතුට සෑම ජීවිතයකටම වැදගත්ය. ධර්මයේ දී සතුට ජීවිතයේ පරම ධනය ලෙස සලකයි. විශේෂයෙන් විවාහ දිවියේ දී සතුට අනිවාර්යයෙන් තිබිය යුතු අංගයකි. එයිනුත් වැදගත් වන්නේ ලද දෙයින් සතුටු වීමයි. එයින් සැහැල්ලු දිවියකට මඟ පාදයි. වර්තමාන සමාජය සකස්ව තිබෙන්නේ මරණය තෙක් බලාපොරොත්තු ඉටු නොකර ගත හැකි අයුරිනි. එයට හේතුව සෑම දෙනෙක්ම සමාජයේ ජීවත් වනුයේ විශාල බලාපොරොත්තු ඇතිවය. ඒ බලාපොරොත්තු මරණය තෙක් ඉටුකරගත නොහැකි බලාපොරොත්තු ය. එයින් සිදුවන්නේ මරණය තෙක් අසහනයෙන් හා අතෘප්තියෙන් ජීවත් වී සුන් වූ බලාපොරොත්තු ඇතිව මරණයට පත්වීමයි. එවැනි ජීවිතයන්ට ජීවත්වීම බරක් මිස කිසිදා සතුටක් ගෙන දෙන්නේ නැත.

විශේෂයෙන් විවාහ ජීවිතයේ දී ලද දෙයින් සතුටුව සැහැල්ලුවෙන් දිවි ගෙවීම තුළින් සතුට, පී‍්‍රතිය මෙන්ම නිදහස ද ඇතිව දිවිගෙවීමට හැකිය. තම බලාපොරොත්තු තියා ගත යුත්තේ තමාට කළ හැකි ප්‍රමාණයට පමණි. සමහර විට අපේ බලාපොරොත්තු ඉටු නොවන අවස්ථා ද ඇත. එවැනි අවස්ථාවල උපේක්‍ෂාව ඇතිකර ගත යුතු ය. මධ්‍යස්ථ විය යුතු ය. මන්ද එය ලෝකයේ ස්වභාවය බැවිනි. මිනිසුන්ගේ සියලුම බලාපොරොත්තු ඉටුවුවහොත් මේ ලෝකයට කුමක් සිදුවේද? ස්වභාව ධර්මය සැකසී ඇත්තේ සියල්ල පාලනය කරගනිමිනි. එබැවින් අපේ බලාපොරොත්තු ඉටුවන අවස්ථාවල මෙන්ම ඉටුනොවන අවස්ථාවල ද ස්භාවධර්මයට අනුගතව ඉවසීම, මැදහත් බව පවත්වාගෙන යෑම විවාහ දිවියට මෙන්ම සාමාන්‍ය ජීවිතයට ද ඉතා වැදගත් වෙයි.
එබැවින් බිරිඳ සිය ස්වාමියා උපයන දෙය නිසි කළමනාකාරිත්වයකින් යුතුව විය පැහැදම් කොට අය වැය සමව පවත්වා ගනිමින් සිය ස්වාමියා සතුටු කිරීමට උත්සාහ කළ යුතු ය. ස්වාමියා ද බිරිඳගේ ගුණයන් අගය කරමින් යම් වරදක් දුටු අවස්ථාවක එය බොහෝ ආදරයෙන් පෙන්වා දෙමින් බිරිඳ සතුටු කිරීමට උත්සාහ කළ යුතු ය. මේ අයුරින් පවුල තුළ සතුට පවත්වාගෙන යෑමට ස්වාමි භාර්යා දෙදෙනාම උත්සුක වීම තුළින් යහපත් පවුල් ජීවිතයක් උදාකර ගත හැක.

කාලේන ධම්මසවණං

කාලේන ධම්මසවණං යනුවෙන් අදහස් කරන්නේ ඉඩ ලද අයුරින් ධර්මය ඇසීමයි. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් පවසන්නේ තම දෛනික කටයුතුත් සමඟ බණ ඇසීමට හෝ ධර්මය වෙනුවෙන් කැපවීමට තමාට කාලයක් නැති බවයි. ඇත්තෙන්ම එය පිළිගත හැකි සත්‍යයක් නොවේ. එය ධර්මය වෙනුවෙන් කැප කරන කාලය මඟහැරීමට කියන කතාවකි. ධර්මය ඇසීමට හෝ වෙනත් පින්දහම් කටයුතු සඳහා දෛනික කාලයෙන් කොටසක් වෙන්කර ගත යුතු ය. විශේෂයෙන් දහම් ඇසීම සඳහා දෛනිකව අපහසු වුවද සතියකට දිනයක් හෝ අවම වශයෙන් මාසයකට දිනයක් හෝ වෙන්කර ගත යුතු ය. ධර්මය ඇසීමෙන් නොඇසූ දේ ඇසීම, ඇසූ දේ වැඩිදියුණු කර ගැනීම, සැක ඇති තැන් දුරුවීම, නිවැරැදි දැකීමක් ඇතිවීම හා සිතේ පැහැදීම ඇතිවීම යන කරුණු ලබාගත හැක. මෙසේ තමාට හැකි සෑම අවස්ථාවකදීම ධර්මයට සවන්දීම තුළින් එයින් ලැබෙන උපදෙස් දෛනික ජීවිතයන් මෙන්ම විශේෂයෙන් විවාහ ජීවිතයන් ද සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකර දෙයි.

ඛන්තී

ඛන්තී යනුවෙන් අදහස් කරන්නේ ඉවසීමයි. සාමාන්‍ය ජීවිතයේ ඉවසීම යහපැවැත්ම සඳහා අවශ්‍ය වන ප්‍රධාන කරුණකි. ඉවසීමක් නැති පුද්ගලයා තමාගේ පරිහානිය ඉතා ඉක්මනින්ම ළඟාකර ගන්නෙකි. ධර්මයේ සඳහන් වන්නේ ඉවසීම මහත් බලඇණියක් ලෙසය. එමෙන්ම ඉවසීම උතුම්ම තපස ලෙසද අවධාරණය කරයි. විශේෂයෙන් විවාහ ජීවිතයේ දී ඉවසීම අනිවාර්යයෙන්ම තිබිය යුතු ය. බිරිඳ ස්වාමියාගේ වරදක් දුටු විට ඉවසිය යුතු ය. ඔහු සිටිනා ස්වභාවය තේරුම්ගෙන සුදුසු මොහොතක එම වරද ආදරයෙන් පෙන්වා දෙමින් එයින් මුදා ගැනීම සඳහා උත්සාහ කළ යුතු ය. ස්වාමියා ද එසේම විය යුතු ය. බිරිඳගේ වරදක් දුටු විට නොකිපිය යුතු ය. සුදුසු අවස්ථාවක දී ඇය එයින් මුදා ගැනීමේ අරමුණින් ආදරයෙන් එය පෙන්වා දිය යුතු ය.
ස්වාමියා කිපුණු අවස්ථාවක දී බිරිඳ නොකිපිය යුතු ය. ඉවසීම ඇති කර ගත යුතු ය. බිරිඳ කිපුණු අවස්ථාවක ස්වාමියා නොකිපිය යුතු ය.
ඉවසීම ඇතිකරගත යුතු ය. දෙදෙනාම කිපීමට ගියහොත් ඇතිවන තත්ත්වය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි ය. බොහෝ පවුල්වල විශාල ගැටුම් ඇතිවීමට හේතු වන්නේ මෙම තත්ත්වයන් ය. එබැවින් විවාහ දිවියේ ඉවසීම නමැති ගුණාංගය වටිනාම ආභරණයක් මෙන් සැලකිය යුතු ය.

සුවච

සුවච යන්නෙන් අදහස් කරන්නේ අන්‍යයන්ට සවන්දීමයි. බොහෝ විට අපට සමාජයේ දක්නට ලැබෙන්නේ අන්‍යයන්ට සවන් නොදෙන තමාගේ මතයම සම්මත කිරීමට උත්සාහ දරන පිරිසකි. අපි සමාජ ජීවිතයේ දී නම්‍යශීලී විය යුතු ය. පලබරිත වෘක්‍ෂය පලයන්ගේ බර නිසා බිමට නැමෙන්නාක් මෙන් පුද්ගලයා දැනුමෙන් පෝෂණය වත්ම පෝෂණය වත්ම නම්‍යශීලී විය යුතු ය. අන්‍ය මතයන්ට සවන් දිය යුතු ය. සමහර විට සාමාන්‍ය ජීවිතයේ දී අප ගන්නා තීරණ වැරැදි විය හැකි ය. තව කෙනෙකුගේ තීරණයන් නිවැරැදි විය හැකි එබැවින් අප අන්‍යයන්ට සවන්දිය යුතු ය. ඔවුන්ගේ අදහස් ද විමසා බලා කටයුතු කළ යුතු ය.
විශේෂයෙන් විවාහ ජීවිතයේ දී ස්වාමියා බිරිඳට සවන්දිය යුතු ය. ඇගේ අදහස්වලට ගරුකළ යුතු ය. එමෙන්ම බිරිඳ ද ස්වාමියාට සවන්දිය යුතු ය. ස්වාමියාගේ අදහස් වලට ගරු කළ යුතු ය. උදාහරණ ලෙස නිවසට අලුතින් යම් භාණ්ඩයක් මිලදී ගැනීමේ දී දෙදෙනා එක්ව කතාකර ගනිමින් දෙදෙනාගේම මතයන් විමසා සුදුස්සක් තෝරාගත යුතු ය. නිවසේ හෝ ඉඩමේ යම් වෙනස්කමක් කරන අවස්ථාවලදී ද දෙදෙනාගේම සාකච්ඡාවෙන් එක් තීරණයකට එළඹ සුදුසු කටයුත්තක් කළ යුතු ය. මෙසේ දෙදෙනාම ඔවුනොවුන්ට සවන් දෙමින් එක් මතයකට එළඹ තීරණ ගැනීම සාර්ථක විවාහ දිවියකට මඟ පාදන්නකි.

සමණානං ච දස්සනං

සමණානං ච දස්සනං යන්නෙන් අදහස් කරන්නේ ශ්‍රමණයන් වහන්සේලා දැකීමට පි‍්‍රය කිරීමයි. විශේෂයෙන් ගිහි ජීවිතය ගතකරන පිරිසට තම ආධ්‍යාත්මය දියුණුකර ගැනීම සඳහා තමා අදහන ආගමට දහමට අනුව උපදෙස් ලබාගත යුතු ය. බෞද්ධ පිරිස විහාරස්ථානය වෙත පැමිණ තමාගේ ආගමික කටයුතු පුද සිරිත් සිදු කරගන්නවා මෙන්ම එහි වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා බැහැ දැක කතාබස් කොට අවවාද අනුශාසනා ලබාගත යුතු ය. විශේෂයෙන් යුගදිවියට පත් දම්පතීන් විහාරස්ථානය වෙත පැමිණ ස්වාමීන් වහන්සේලා බැහැදැක උපදෙස් ලබාගත යුතු ය. සිඟාලෝවාද සුත්‍රයේ සඳහන් අයුරින් ශ්‍රමණයන් වහන්සේලාට තම නිවසට පැමිණීමට අරින ලද දොර තිබිය යුතු ය. මෙයින් අදහස් වන්නේ තම ආගමික නායකයන් වහන්සේලා දැකීමට පි‍්‍රය කළ යුතු බවත් උන්වහන්සේලා තම නිවසට පැමිණීම භාග්‍යයක් කොට සැලකිය යුතු බවත් ය. විශේෂයෙන් තම විවාහ ජීවිතයේ දී ඇතිවන යම් යම් ගැටලු උන්වහන්සේලා සමඟ සාකච්ඡා කොට විසැඳුම් ලබාගැනීම විවාහ ජීවිතය සාර්ථකත්වයට හේතු වේ.

ධම්ම සාකච්ඡා

ධම්ම සාකච්ඡා යනුවෙන් අදහස් කරන්නේ දහම් කරුණු සාකච්ඡා කිරීමයි. ධර්මය ඇසීම මෙන්ම ධර්මය පිළිබඳ සාකච්ඡා පැවැත්වීම ද ධර්මඥානය වර්ධනය කර ගැනීම සඳහා මහෝපකාරී වන ප්‍රතිපදාවකි. විශේෂයෙන් තමාට ධර්මය පිළිබඳ යම් ගැටලුවක් ඇති වූ විට ඒ පිළිබඳ අවබෝධයක් ඇති අය වෙත පැමිණ සාකච්ඡා කළ යුතු ය.
නිවැරැදි අවබෝධයක් ඇති කර ගත යුතු ය. විශේෂයෙන් විවාහයට පත් දම්පතීන් තමාට ධර්මය පිළිබඳ ඇතිවන යම් ගැටලුවක් වේ නම්, එය ඒ පිළිබඳ අවබෝධයක් ඇති අය වෙත පැමිණ සාකච්ඡා කළ යුතු ය. මීට අමතරව නිවස තුළ ඇතිවන කතාබහ, සාකච්ඡා ද දැහැමි වන්නේ නම් එය ද විවාහ දිවිය සාර්ථකවීමට හේතුවේ.