යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

සිල්වත්, ගුණවත් කාන්තාව ශ්‍රේෂ්ඨයි

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

මම අද ඔබට පවසන්නේ ධීතු හා සෝමා සූත්‍ර ඇසුරෙන් ධර්ම කරුණු කිහිපයකුයි. තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේ දිනක්‌ පසේනදී කොසොල් රජතුමා බුදුරදුන් වෙත පැමිණ වන්දනා කොට සතුටු සමීචියෙහි යෙදෙමින් සිටියේය. මේ වෙලාවෙහි රාජපුරුෂයෙක්‌ පැමිණ 'රජතුමනි, මල්ලිකා දේවිය දුවක්‌ බිහිකළාය' යනුවෙන් පැවැසීය. මෙය ඇසූ කොසොල් රජු නොසතුටට පත්විය. රජුගේ නොසතුටට පත් මුහුණ දුටු බුදුරජාණන් වහන්සේ පහත සඳහන් ගාථා යුගල දේශනා කළහ.

ඉත්ථි පිහි එකච්ඡයා 

සෙය පෝස ජනාධිප

මේධාවිනී සීලවතී 

සස්‌සුදේවා පතිබ්බාතා

'රජතුමනි, ඇතැම් ස්‌ත්‍රියද ශ්‍රේෂ්ඨය. එම නිසා එම දුව පෝෂණය කරන්න. නුවණ ඇති සිල්වත්, තම දෙමාපියන් මෙන්ම නැන්දා, මාමාද දෙවිකොට සලකන පතිවත රක්‌නා කාන්තාව ශ්‍රේෂ්ඨයි'

තස්‌ස යෝ ජායතී 

පෝසෝ සුරෝ හෝති දිසම්පති 

තාදිසා සුභගියා 

පුත්තෝ රඡ්ජම්පි අනුසාසති

'දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක්‌ උපදීද හෙතෙම දක්‌ෂයෙක්‌ වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනාද කෙරෙයි'

බෞද්ධ දර්ශනයෙහි කාන්තාවට ලැබී ඇත්තේ ඉහළම ගෞරවයකි. මෙලොම අපි සියලුදෙනාම මෙලොව බිහිවී ඇත්ගේ මව්ගේ කුසෙහි දස මාසයක්‌ වැඩීමෙනි. ලොවක්‌ සුවපත් කරන බුදු උතුමෙක්‌, රටක්‌ පාලනය කරන ශ්‍රේෂ්ඨ නායකයෙක්‌ හෝ කවර නමුත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්‌ මෙලොවට බිහිකරන්නේ අම්මා කෙනෙකි. බුදුදහමෙන් දිය හැකි ඉහළම ගෞරවය ලබාදී ඇත්තේ මෙසේය.

'බුද්ධෝ විය මාතා, මාතාවිය බුද්ධෝ'. - අම්මා බුදුරජාණන් වහන්සේ හා සමානයි. බුදුරජාණන් වහන්සේ අම්මා හා සමානයි' යනුවෙනි. අපගේ අම්මා රහත් නොවූ බව සත්‍යයකි. එනමුත් අපගේ හදවත්හි ඇති අපමණ වූ කරුණා මෛත්‍රියද, ගෞරවයද ඉහළින්ම මතුකොට දැක්‌වීමට 'බුදුඅම්මා' යෑයි ආමන්ත්‍රණය කරනු ඇත. මෙහිදී සියලු මව්වරුන්ට අපරිමිත වූ කරුණාවෙන් මතක්‌ කළ යුතු කරුණක්‌ ඇත. දරුවන් මෙලොවට බිහිකළ ඔබ විසින් 'බුදුඅම්මා' නම්වූ පාරිශුද්ධ වචනයට චරිතාදර්ශයෙන්ම සුදුස්‌සෙක්‌ විය යුතු බවයි.

කොසොල් මහ රජතුමාගේ මුහුණ නොසතුටට පත්වූයේ ඇයි? එම කාලයේ කාන්තාවට අයත්ව තිබුණේ ඉතාම අඩු හා ශෝචනීය තත්ත්වයකි. මෙම ගාථාවෙන් ඒ බව පැහැදැලි වනු ඇත. (සෝමා සූත්‍රය)

'යං තං ඉසීහි 
පත්බ්බං ඨානං දුරභි සම්භවං
නතං ද්වංඟුල පඤ්ඤාය 
න සක්‌කා පප්පෝති මිත්ථියා'

ඉසිවරයන් විසින් අපහසුවෙන් ලැබිය යුතු වූ ආධ්‍යාත්මික දියුණුව ඇඟිලි දෙකේ නුවණක්‌ ඇති ස්‌ත්‍රීන්ට ලැබිය නොහැකි බව ඉහත ගාථාවේ අදහසය. මෙම අදහස්‌වලින් පැහැදිලි වන්නේ කාන්තාව කිසි යහ ගුණයකට පත්විය නොහැකි මඳ නුවණක්‌ ඇති තැනැත්තියක්‌ බවට පත්කොට සැලකීම නොවේද? කාන්තාවට හිමි කොට තිබුණේ කෑම පිළියෙල කරන කුස්‌සිය හා දරුවන් මෙලොවට බිහි කිරීමය. 'සතිපූජාව' පිළිබඳව ඔබ අසා ඇත. සැමියා මිය ගිය පසු එම දර සෑයට පැන මියයැම වැන්දඹු බිරිඳ විසින් කළයුතු ක්‍රියාවක්‌ ලෙස සමාජය විසින් සම්මත කොටගෙන තිබිණි. මෙවැනි සමාජ පරිසරයක තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ සිල්වත් හා නුවණ ඇති කාන්තාව ශ්‍රේෂ්ඨය යනුවෙනි. සිල්වත්වීම හා බාහිර අධ්‍යාපනයෙන්ද ආධ්‍යාත්මික ගුණ නුවණින්ද පිරිපුන්වීමට ස්‌ත්‍රී පුරුෂ භේදයක්‌ නැත. මෙයට ඉතා කදිම පිළිතුරක්‌ සංයුක්‌ත නිකායේ සෝමා සූත්‍රයෙන් ලබාදී ඇත. දිනක්‌ සෝමා තෙරණිය අන්ධ වනයෙහි දහවල් කාලයෙහි භාවනා කරමින් සිටින්නීය. සෝමා තෙරණිය අප ඉහත සඳහන් කළ ගාථාව එනම් ඉසිවරයන් විසින් ලැබිය යුතු ආධ්‍යාත්මික ගුණ පදවිය ඇඟිලි දෙකේ නුවණක්‌ තිබෙන ඔබට ලැබිය නොහැකිය යනුවෙන් ඇසෙන්නට විය. මේවා ආධ්‍යාත්මිකව සැනසෙන්නට වීරිය දරන අයට ඇසෙන හා දැනෙන මාර බාධකය. මෙහිදී සෝමා තෙරණිය විසින් පැවැසුවේ කුමක්‌ද?

'ඉත්ථිභාවෝ කිං කයිරා 
චිත්තම්හි සුසමාහිතෝ
ඤාණම්හි වත්තමානම්හි 
සම්මා ධම්මං විපස්‌සතෝ'

'සිත මැනවින් සමාධිගත වී නුවණ පවත්නා කල්හි මනාකොට දහම දකින්නේ නම් ස්‌ත්‍රී බව කුමක්‌ කරන්නේද? සත්‍ය ලෙසින්ම ස්‌ත්‍රීභාවය එම සමාධිය හා දහම දැකීමට කිසිදු ගැටලුවක්‌ නැත.

බෞද්ධ දර්ශනයෙන් කාන්තාවන්ට ගැහැට හා විපත් පැමිණෙන්නට හැකි සෑම අවස්‌ථාවක්‌ ධර්ම මාර්ගයෙන් ආරක්‌ෂාකොට ඇත. සිඟාලෝවාද සූත්‍රයේදී ස්‌වාමියා හා බිරිඳ අතර පැවැතිය යුතු සෙනෙහෙබර සම්බන්ධයකදී ස්‌වාමියා විසින් තම බිරිඳට ඉටු කළ යුතු කොටස දක්‌වා අත්තේ උපස්‌ථාන කිරීමක්‌ ලෙසය. තම බිරිඳ තමාගේ වැඩකටයුතු පමණක්‌ ඉටුකර ගැනීමට රැගෙන පැමිණි සේවිකාවක්‌ හෝ යටතට ගත් තැනැත්තියක්‌ ලෙස නොව මවකට සෙයින්ම උපස්‌ථාන කළ යුතු බවය. 

පළමු කරුණ නම් සම්මානනාය හෙවත් නිසි සැලකිල්ල හෙවත් ගෞරවය දැක්‌විය යුතු බවයි. දරුවන්ගේ 'බුදු අම්මාට' එම හැඟීමෙන් සැලකීමට පියා විසින් දරුවන්ට සුදුසු පසුබිමක්‌ නිවසෙහි ඇතිකිරීම මින් අදහස්‌ කෙරේ. සිංහල සංස්‌කෘතියෙහි පෙර කාලයේ බොහෝ අවස්‌ථාවල තාත්තා හෝ අප්පච්චි තමන්ගේ බිරිඳට නම කියා කතා කළේ නැත. 'සුදු දුවගේ අම්මා හෝ ලොකු පුතාගේ අම්මා' ආදී වශයෙන් ප්‍රිය වදනින් ඇමතීය. එමෙන්ම තාත්තා අම්මාට ගෞරවය ලබාදීමට නිතර දරුවන්ටද අවවාද උපදෙස්‌ දුන්නේය. 'දරුවනේ, නුඹලාගේ අම්මා මහ පුදුම ධෛර්යවන්ත අම්මා කෙනෙක්‌. පුදුම කරුණාවන්ත කෙනෙක්‌. මටයි නුඹලටයි මේ වගේ කෙනෙක්‌ හමුවුණේ අපේම පූරුවේ පිනකට වෙන්නැති'. දෙවනුව අනවමානනාය හෙවත් කිසි විටෙකත් අවමන් නොකළ යුතු බව දැක්‌වෙයි. ස්‌වාමින් වහන්සේ මේ වචන සඳහන් කරන්නේ කිසිවකුටත් අවමන් කරන්නට නොවේ. අපේ ගුණවත් මව්වරුන්ගේ හා ස්‌වාමි දියණිවරුන්ගේත්, තරුණ දියණිවරුන්ගේත් ගෞරවය ආරක්‌ෂා කොට සිත් නොරිදීම සඳහායි. කිසිවිටෙකත් ස්‌වාමිපුත්‍රවරුන් හෙවත් ස්‌වාමිපුරුෂයන් විසින් තම ස්‌වාමිදියණිවරුන්ට හෙවත් භාර්යාවරුන්ට 'තමුසේ', 'ඕයි' නම් වූ ළාමක හා ග්‍රාම්‍ය වූ වචනවලින් කතා නොකළ යුතුය. කවර නම් වූ ගැටලු සහගත අවස්‌ථාවකදී වුවද හැකිතාක්‌ දුරට ප්‍රියශීලී වචනම කියා කතා කිරීම ඔබී. නරක හා පරුෂ වචනයෙන් තමන්ට දොස්‌ කියන ස්‌වාමිපුරුෂයන්ට ස්‌වාමි දියණිවරුන් කෑගසා කියන්නේ 'අනේ පිං සිද්ධවෙයි, දරුවන් ඉස්‌සරහා නම් ඔය විදිහට කතාකරන්න එපා. මගේ අම්මා තාත්තාවත් කවදාවත් ඔය විදිහට කතාකර නැහැ' යනුවෙනි. ගෙදර ඇතුළත කුමන කරදර බාධක හා ප්‍රශ්න ගැටලු තිබුණත් සමාජය ඉදිරියේදීවත් සංවර වචන හා ළෙන්ගතුකම මතුකොට දක්‌වන වචන මාලාවක්‌ අවශ්‍යය. ගෙදරදී කොහොම කතා කළත් හැසුරුණත් වරදක්‌ නැතැයි එයින් අදහස්‌ නොකෙරේ. 

මුළු පවුල් පරිසරයම සැනසිලිමත් පරිසරයක්‌ බවට පත්කර ගැනීමට ඔබගේ වචන, එම වචන මෘදුබව හා කරුණාවන්ත බව හේතුවන බව පැහැදිලි විය යුතුය. අනතිචරියාය හෙවත් ස්‌වාමිදියණියට එරෙහිව වරදෙහි නොබැඳෙන්නට මින් උපදෙස්‌ දෙයි. ස්‌වාමි දියණියට එයම මානසික සුවයකි. 'ඉස්‌සරිය වොස්‌සග්ගේන' හෙවත් නිවසෙහි වගකීම ඇයටද පවරාදීම මින් අදහස්‌ කෙරේ. 'මම මේ ගෙදර පිට කෙනෙක්‌දැයි' අසන ස්‌වභාවයට ස්‌වාමිදියණිය පත් නොකළ යුතුය. අලංකාරානුප්පදානේන හෙවත් ඇඳුමෙන් හා පැළඳුමෙන් උපස්‌ථාන කිරීමය. මේ ඉතාමත් කෙටියෙන් මතුකොට දැක්‌වූයේ බුදුදහමෙන් කාන්තාවන් ආරක්‌ෂාකොට ඇති අයුරුයි. මෙලොම කිසිවකුගේත් පිටුපසින් වැඩම නොකළ බුදු උතුමෝ තම බුදුඅම්මා හෙවත් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියන්ගේ පිටුපසින්, වැඩම කළහ. අගසවු දෙනම වාගේම ෙ€මා හා උප්පලවන්නා නම් අග්‍ර ශ්‍රාවිකාවන්ද පත් කළහ. අග්‍ර දායක අනේපිඬු සිටාණන් වාගේම අග්‍ර දායිකා විශාඛාවෝද සිටියහ. ඔබට ලබාදී ඇති උතුම් බව ආරක්‌ෂා කර ගැනීමට ඔබද සිතින්, වචනයෙන් හා ක්‍රියාවෙන් නිවැරැදිවන්නට ආරාධනා කරමි. උතුම් තුණුරුවන් සරණයි.