යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

සාර්ථක පවුල් ජීවිතයකට බුදුදහමෙන් ඔවදන්...

ඉපදුන සෑම කෙනකුගේම එකම බලාපොරෙත්තුව සැපවත් ජීවිතයක්‌ ගතකිරීමය. එපමණක්‌ නොව පින් දහම් කරගන්නේත් මෙම ආත්මයේදී බැරිනම් ලබන ආත්මයේදී හෝ සැප විඳීමටය ලෝකෝත්තර ජීවිතයට පමණක්‌ නොව ලෞකික ජීවිතය සතුටින් ගත කිරීම සඳහාද බුදුදහමේ තරම් මග පෙන්වීමක්‌ වෙන කිසිදු ආගමක හෝ දර්ශනයක නැත. 

බුදුදහමෙහි ඒකායන පරමාර්ථය නිවන් දැකීම වුවත් ඒ මග ගමන් මගට අවතීර්ණවීමට යහපත් ජීවිතයක්‌ තිබිය යුතුය. ඒ යහපත් ජීවිතය ගත කිරිම සඳහාද නිරන්තරවම අවවාද අනුශාසනා කළ සේක. බුදුරජාණන් වහන්සේ සැප විඳින්න එපා කියා නැත. උන්වහන්සේ අත්තකිලමතානුයෝගය ප්‍රතික්‌ෂේප කළේය. විවාහ වන්න එපා කීවේ නැත. වළකින්න කීවේ කාමයේ වරදවා හැසිරීමෙනි. සැපපහසු ගෙවල් දොරවල් සැදීමට එපා කීවේ නැත. අනේපිඬු සිටුතුමා විශාකා ඡේතවනාරාමය, පූර්වාරාමය ආදී ආරාම පුජා කරන විට ඒවා ප්‍රත්ක්‌ෂේප කළේ නැත. විශාඛා, බන්දුල මල්ලිකා, සුජාතා මේලපළඳනා පළඳින විට එපා කිව්වේ නැත. සිටුවරයින්ට ධනය උපයන්න එපා කීවේ නැත. එය සාධාරණව උපයන 

ආකාරයත් එම ධනය ප්‍රයෝජනයට ගන්නා ආකාරයත් දේශනා කළේය. බුදුරජාණන් තමාද අසිමිතව සැප විනඳ ආකාරය මහා සිහනාද සූත්‍රයෙන් දේශනා කළේය. ගිහි ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය නිතර නිතර දේශනා කළේය. 

අප ජීවිතයේ බලාපොරොත්තු වන සැප සතුට ගත කරන ජිවන වකවානුව අනුව විවිධාකාර වේ. ළමා අවධියේ පතන සතුට මව්-පිය ආදර සෙනහස, ආහාර පාන, සම වයසියන් සමග කෙළිදෙලෙන් ගත කිරීම ආදියට සිමාවේ. තරුණ වයස මිතුරු මිතුරියන් හා ගත කිරීම හා ආදරය කිරීම මූලික සතුට වේ. ඉන්පසු විවාහවී ලිංගික සතුට ලැබීම මූලික වේ. අනතුරුව දරු සුරතල් බැලීම, ගෙවල් දොරවල් සැදීම, යාන වාහන ගැනීම, මුදල් ඉපයීම ආදිය සතුට ලබන ප්‍රධාන මාර්ග වේ. ඉන්පසු නිර්මාණකරණය, සමාජ සේවය, තනතුරු යස ඉසුරු සොයා යාම ආදිය සතුට ලබන කාරණා වේ. පිනට දහමට යොමුවී මතු ආත්මයේ සැප පතා කටයුතු කිරීම අවසාන අවස්‌ථාව වේ. මේ අවස්‌ථාවන් අතර සැපවත් ජීවිතයක්‌ ගතකිරීමේ සන්ධිස්‌ථානය වන්නේ විවාහ ජීවිතයයි. අනාගත ජීවිතයේ සාර්ථක අසාර්ථක බව තිරණය වන්නේ මෙම අවස්‌ථාවේදීය. මිනිසා දෙවරක්‌ උපදින්නේය පළමුවර සිය මෑණියන්ගෙනි. දෙවනුව සිය බිරිඳ ගෙනියි කියන්නේ මෙනිසාය. 

විවාහ ජීවිතයේ සිට පුද්ගලයෙකුට තම සතුට තනිව තීරණය කළ නොහැක. සෑම විටම එය අනෙකාගේ ක්‍රියා කලාපය මත රඳා පවතී.වෙs ඒ අනුව පවුල් ජීවිත කොටස්‌ තුනකට බෙදිය හැකිය. 

1. ඉතා සතුටින් ජීවත් වන පවුල්

2. පවුල් අවුල් මැද ජීවත් වන පවුල් 

3. දික්‌කසාදයෙන් කෙළවර වන පවුල් 

සංසන්ධනාත්මකව බලනවිට බටහිර රටවල පවතින දික්‌කසාද ප්‍රමාණයට වඩා අපේ රටේ දික්‌කසාද ප්‍රමාණය අඩුය. අපේ රටේ සංස්‌කෘතිය සිරිත් විරිත් හා බුදුදහමේ ආභාෂය මෙන්ම ආගමික මැදිහත්වීමද දික්‌කසාද ප්‍රමාණය අඩුවීමට මූලික වන බව නොඅනුමානය. ඒ අනුව සාර්ථක පවුල් ජීවිතයකට බුදුදහම ගැන හා ඒ අනුව ජීවත්වීම ඉතාම වැදගත්වේ.

එකම විsෂය කෙරෙහි විවිධ අවස්‌ථාවලදී විවිධාකාරයෙන් ධර්මය දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ සිරිත වු බව පෙනේ. පටිච්චසමුපුපාදය ගැන කරන ලද දේශනා ප්‍රමාණය එකසිය ගණනක්‌වීම මෙයට හොඳම උදාහරණයකි. එසේම පවුල් ජීවිතයක්‌ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස්‌ද උන්වහන්සේ නිතර නිතර දේශණාකර තිබේ. ඒ සියල්ල සලකා බැලූ කල සාර්ථක පවුල් ජීවිතයකට තිබිය යුතු හා වගාකළ යුතු ගුණාංග මෙසේ ගොනුකළ හැක.

1. අනොන්‍ය අවබෝධය

2. ආදරය

3. විෂමාචාරයෙන් තොරවීම

4. විශ්වාශය

5. ආත්ම ගරුත්වය

6. දූ දරුවන්

7. සමානාත්මතාවය

8. එකිනෙකා අගය කිරිම

9. ආර්ථික තත්ත්වය

10. ලිංගික ක්‍රියාවලිය ආදිය ඉන් ප්‍රධාන වේ.

අනොන්‍ය අවබෝධය

පුරුෂයෙකුට තමාට ගැළපෙන බිරිඳක්‌ද කාන්තාවකට තමාට ගැළපෙන ස්‌වාමි පුරුෂයෙකුද ලැබේ නම් ඒ එකිනෙක ජීවිත ඉතාම වාසනාවන්ත වන බව බුදුරජානන් වහන්සේ දේශනා කරන ලදී. ගැළපීම යනුවෙන් අදහස්‌ කරන ලද්දේ එකිනෙකාගේ අදහස්‌ අතර ඇති සමානාත්මතාවයයි. බුදුදහමින් මෙයට හොඳම උදාහරණය ලැබෙන්නේ මහා කාශ්‍යප මහ තෙරුන්ගේ චරිතයෙනි. මහා කාශ්‍යප මහ තෙරුන් සහ ගිහි ජීවිතයේදී උන්වහන්සේගේ බිරිඳ වූ භද්දා කපිලාන් මහා තෙරණියන් කල්ප ලක්‌ෂයක්‌ම එකට සැරිසරා ඇති බව බුදුදහමේ සඳහන්වේ. ඒ දෙදෙනා විපස්‌සී කකුසඳ, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේද අඹු සැමියන්සේ වාසය කර ඇත. කාශ්‍යප මහ තෙරුන් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජගහනුවර පිප්ඵලී මානවකයා ලෙසින්ද භද්ද කපිලානි මහ තෙරණිය, සාගල නුවර භද්දා කපිලානි නමින්ද උපත ලැබුවාය. පිප්ඵලි මානවකයාට සිය දෙමාපියන් විවාහ යෝජනා ගෙනාමුත් හෙතෙම ඒ සියල්ල ප්‍රතික්‌ෂේප කර පැවිදිවීමට අදහස්‌ කරගෙන සිටියේය. පසුව මව්පියන්ගේ කරදරයෙන් බේරීමට බැරිම තැන උපාය මාර්ගයකින් බේරීමට සිතා ඉතාමත්ම රූමත් කාන්තා රුවක්‌ රනින් නිමවා එවන් රුවක්‌ ලදහොත් පමණක්‌ විවාහ වන බව දෙමාපියන්ට සැළකර සිටියේය. දෙමාපියන්ද එවන් රුවක්‌ සොයන්නේ භද්ද කපිලානි දැක ඇය හා විවාහ වීමට කීහ. වෙන කළයුතු කිසිවක්‌ නොවු තැන පිපඵලි, භද්ද කපිලානි හමුවී තමා පැවිදිවීමට සිතා සිටින බැවින් විවාහ වීමට අකමැති බව ඇයට පැවසීය. ඇයද තමාද පැවිදිවීමට සිටින බැවින් විවාහයකට අකමැති බව කීවාය. එසේ නම් දෙමාපියන්ගේ සිත නොරිදවීම සඳහා නාමිකව විවාහවී අඹු සැමියන්සේ නොසිට දෙමාපියන් මියගිය දිනක පැවිදිවීමට කතිකා කර ගෙන විවාහ විය. 

ඒ අනුව විවාහවු ඔවුන් දෙදනා රාග සිතක්‌ පහළවේ යයි බියෙන් එකිනෙකා හා සිනාසෙන්නේද නැත. රාත්‍රි කාලයට එකිකොගේ ඇග ගැටේ යෑයි බියෙන් ඇඳේ දෙකෙළවරට වී නිදාගන්නෝය. මේ අයුරින් වසර ගණනාවක්‌ ගතකොට සිය දෙමාපියන් මියගිය පසු කතිකා කරගත් පරිදි දෙදෙනා වෙන වෙනම ගොස්‌ බුදුන් හමුවී පැවිදි වූහ. පසුව බණ, භාවනා කොට දෙදෙනාම රහත් ඵලයට පැමිණියෝය. එතරම් බැරෑරුම් තටයුත්තක්‌ කර තම අරමුණු ඔවුන්ට ඉටුකර ගැනීමට පුලුවන් වූයේ ඔවුන්ගේ අදහස්‌ එක සමාන වූ නිසාය.

පුරුෂයෙකුට තමාට ගැළපෙන බිරිඳක්‌ තෝරා ගන්නේ කෙසේද යන්න බුදුරජාණන් වහන්සේ සප්ත භාර්යයා සූත්‍රයෙන් දේශණාකර තිබේ. එම සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ භාර්යාවන් වර්ග හතකට බෙදා ඇත. වධක භාර්යාව, චෞරි භාර්යාව, ස්‌වාමි භාර්යාව, මාතෘ භාර්යාව, භගනි භාර්යාව, මිත්‍ර භාර්යාව සහ දාසි භාර්යාව වේ. මෙයින් වධක භාර්යාව, චෞරි භාර්යාව, හා ස්‌වාමි භාර්යාව විවාහයට නුසුදුසු බවත් මාතෘ භාර්යාව, භගනි භාර්යාව මිත්‍ර භාර්යයාව සහ දාසි භාර්යයාව විවාහයට සුදුසු බවත් උන්වහන්සේ දේශනා කර ඇත.

ආදරය

සාර්ථක විවාහ ජීවිතයට අත්‍යවශ්‍යම අංගය ආදරයයි. ආදරය තිබේ නම් මතුවන අනෙකුත් ඕනෑම ගැටලුවක්‌ විසදා ගත හැක. මෙහිදී ආදරය 

යනුවෙන් අදහස්‌ කරනුයේ ලිංගික තෘප්තිය මත ඇතිවන කායික ආදරය නොවේ. එම ආදරය තරුණ බව ගෙවී යාමත් සමගම අභාවයට යයි. සැබෑ ආදරය දූ දරුවන් ලැබීමත්, වගකීම් වැඩිවීමත්, වයසට යාමත් සමගම දිනෙන් දින වැඩිවන ආදරයය. ආදරය පිළිබඳව බුදුදහමේ හොඳම උදාහරණය වන්නේ නකුල මාතා නකුල පීතා කථාවය. නකුල මාතා නකුල පීතා දෙදෙනා බුදුන් හමුවීමට පැමිණ වයෝවෘධ තත්ත්වයට පත්ව සිටින තමන් දෙදෙනා ඉතාම ආදරයෙන් සෙනහසින් කල් ගෙවු බවත්, මතු ආත්මයේදීත් එමනිසා තමන් දෙදෙනාට අඹු සැමියන් සේ එක්‌වීමට කුමක්‌ කළයුතුදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. නකුල මාතා නකුල පීතා දෙදෙන මීට ඉහත ආත්මවලදිත් අඹු සැමියන්සේ එකට විසු බවත්a වදාළ බුදුරජාණන් වහන්සේ එම අතිත කතාවද වදාරා, ඊළග ආත්මයේදීත් අඹු සැමියන් සේ එක්‌වීමට කළයුතු දෑද දේශණා කෙළේය. අඹු සැමි යුවලක්‌ සද්ධා සම්පදා, ශීල සම්පදා, දාන සම්පදා හා ප්‍රඥා සම්පදා ගුණයෙන් සමාන නම් ඒ දෙදෙනාට මතු ආත්මයේත් එක්‌ විය හැකි බව බුදුරජාණන් වහන්සේ එහිදි දේශනා කෙළේය. 

නන්දක තෙරුන ඇතුළු භික්‌ෂුන්ගේ කථාවද සාර්ථක පවුල් ජීවිතවලට උදාහරණයකි. රෝහිණි නදියේ ජලය ජලය බෙදා ගැනීම සඳහා ශාක්‍ය කෝලිය දෙපස අතර යුද්ධයක්‌ ඇතිවිය. බුදුරජාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් මෙම යුද්ධය සංසිඳුන අතර බුදුන්ගෙන් බණ අසා යුද්ධයට සම්බන්ධවූ තරුණයන් පන්සියයක්‌ පැවිදි වූහ. මෙම පුවත අසා එම තරුණයන්ගේ බිරින්ඳෑවරුද බුදුන් වෙත පැමිණ පැවිදි වූහ. මෙම සියලු දෙනාම මීට ඉහත ආත්මයේ අඹු සැමියන් බවත්, ඔවුන්ගේ සාර්ථක විවාහ දිවි පෙවත් නිසා ඔවුන් මෙම ආත්මයේදීත් අඹු සැමියන් වූ බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේය.

ලිංගික ජීවිතය 

මෙයද සාර්ථක විවාහ ජීවිතයකට අත්‍යවශ්‍යම වන විවාහ ජීවිතයේ රඳා පැවැත්මට බොහේ සේ බලපාන සාධකයක්‌වේ. ලිංගික ක්‍රියාවලිය කායික මානසික සේම තම වර්ගයාගේ පැවැත්ම සඳහාද අවශ්‍ය වන ජීව විද්‍යාත්මක අවශ්‍යතාවකි. බුදුරජාණන්වහන්සේ ගිහියන්ට ලිංගික ක්‍රියාවලිය වැලකී සිටිය යුතූ දෙයක්‌ ලෙස වදාරා නැත. අටසිල් සහ දස සිල් සමාදන් වීමේදී එයින් වැළකී සටින ලෙස වදාළ උන්වහන්සේ, කාමයේ වරදවා හැසිරීම බරපතළ විෂමාචාරයක්‌, පාප කර්මයක්‌ බව වදාරා ඇත. 

කාම මිත්‍යාචාරය

පවුල් ජීවිතය අවුල්වන ප්‍රධානම සාධකය කාම මිත්‍යාචාරය හෙවත් විෂමාචාරය වේ. බටහිර රටවල මෙන්ම ලංකාවේද දික්‌කසාද වලට ප්‍රධානම හේතුව මෙය වේ. බටහිර රටවල විෂමාචාරය වැඩිවීමට බටහිර සංස්‌කෘතිය බලපාන්නා සේම ලංකාවේ දික්‌කසාද සංඛ්‍යාව අඩුවීමට බෞද්ධ ආගමික පරිසරය බලපානු ලැබේ. බුද්ධ දේශනා රාශියකම කාම මිත්‍යාචාරය හා එහි ආදීනව ගැන සඳහන්වේ. බුදුරජාණන් වහන්සේ එය කෙතරම් පවුල් ජීවිතයට වැදගත් කොට සලකා ඇත්ද යත් කාම මිත්‍යාචාරය පංචශිලයෙහි තුන්වන කරුණ ලෙස ඇතුළත් කොට ඇත. එසේම සිගාලෝවාද සූත්‍රයේද සතර කර්ම ක්‌ලේෂයන්ගෙන් එකක්‌ ලෙසද කාම මිත්‍යාචාරය දක්‌වා ඇත. පුරුෂයා විනාශ කරන කරුණු හතරක්‌ සිගාලෝවාද සූත්‍රයේ දක්‌වා ඇති අතර ඉන් එකක්‌ වන්නේද කාම මිත්‍යාචාරයයි. වේලුද්වාර සුත්‍රයේද පර අඹුවන් කරා යාමේ ආදිනව මෙන්ම අන්‍යයන් ඉන් මුදා ගැනීමේ වැදගත්කමද දේශනාකර ඇත. 

ලෝක චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හැසිරීම කාම මිත්‍යාචාරය ලෙස බුදුදහමෙහි දැක්‌වේ. සැමියෙකු විසින් හෝ දෙමාපියන් විසින් ආරක්‌ෂා කරනු ලබන ස්‌ත්‍රියක හා කැමැත්ත ඇතිව හෝ නැතිව කාමයේ හැසිරීම පාපයක්‌ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනාකරන ලදී. එසේම තමා ආරක්‌ෂා කරන පුරුෂයෙකු සිටියදී වෙනත් පුරුෂයෙකු හා කාමයෙහි හැසැරීම කාන්තාවකට පාපයක්‌ බවද බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

සමානාත්මතාවය 

මෙයද පවුල් ජීවිතයට වැදගත් කරුණකි. දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ තමා උසස්‌යයිද අනෙකා පහත් යයිද සිතා කටයුතු කිරීම පවුල් අවුල් වලට මුල්වන කරුණක්‌වේ. බුදුදහමේ මෙය මානයනුවෙන් හැඳින්වේ මානය ත්‍රිවිධාකාර වේ.

1. සෙය්‍යමාන

2. සදිසි මානය

3. හීන මානය

සෙය්‍යමානය යනු තමා අනෙකාට වඩා උසස්‌ යයි සිතීමය. තමා ජාතියෙන් කුලයෙන් පරම්පරාවෙන් වත් පොහොසත්කමින් උගත් කමින් නෑදෑ පරපුරින් රූපයෙන් අනෙකාට වඩා උසස්‌ යයි සිතා කටයුතු කිරීමත් අනෙකා පහත් කොට සැලකීමත් ඒ හේතුවෙන් ඔහුගේ හෝ ඇයගේ දෙමාපිය, නෑදෑයින්ට ගැරහීමත් නොසලකා හැරීමත් බෝහෝ පවුල් අවුල් වලට හේතුවේ. හීන මානය මෙහි අනෙක්‌ පැත්තයි. තමා පහත් යයි සිතා කටයුතු කිරිමයි. එසේ සිතා කටයුතු කිරීමද පවුල් අවුල් වීමට හේතුවේ. මෙසේ වෙනසක්‌ තිබුණද එසේ වෙනසක්‌ නොමැති සේ දෙදෙනාම සම තත්ත්වයෙන් සිතා සලකා කටයුතු කිරීම යහපත් පවුල් ජීවිතයකට මග පාදා ගැනීමක්‌ වේ. මෙම මානය උමතුවක්‌ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. 

දරුවන් ලැබීම

විවාහයක දෑඟිලි බැඳ එක්‌ කරන නූලක ගැට වැටෙන්නේ දරුවන් ලැබීමත් සමගය. අනාගතය ස්‌ථිරවන්නේ එතැන් සිටය. එපමණක්‌ නොව පවුල් ජීතයයේ ආදරය වැඩිවීමටද වගකීම වැඩිවීමටද බලපාන්නේ දූ දරුවන් ලැබීමය. දරුවන් නොමැතිවීම බොහෝ විවාහ කඩවීමට පමණක්‌ නොව දුරාචාරයට මඟපෑමක්‌ද වේ. විවාහවලින් 10% ක්‌ පමණ අද දරුවන් නොලැබීමේ ප්‍රශ්නයට මුහුණ දි ඇත. දරුවන් නොමැතිකම නිසා දික්‌කසාද වන්නෝද සිටිති. එහෙත් එය දික්‌කසාද වීමට නීතිමය හේතුවක්‌ නොවේ. නමුත් විවාහවන අවස්‌ථාව වන විටත් පැවති ලිංගික අකර්මන්‍යතාවය දික්‌කසාද වීමට හේතුකාරක කරගත හැකි බවට නීතිමය ප්‍රතිපාදන ඇත. 

සමන්තපාසාදිකා තුතිය පාරාජික වර්ණනාවේ කාන්තාවන්ගේ වඳ භාවය ගැන සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ගැබ් නොගන්නා ස්‌ත්‍රීන් නම් නොමැති බව දේශණා කර ඇත. සෘතු සමයෙහි සියලුම ස්‌ත්‍රීන් ගැබ් ගන්නා බවත් කුසෙහි උපන් සත්වයාට අකුසලය පැමිණියහොත් වැනසෙන බවත් උන්වහන්සේ දේශනාකර ඇත. මාපිය සබඳතාවයකින් සත් දිනක්‌ යනතෙක්‌ සත්වයෙකුගේ ප්‍රතිසන්දිය සිදුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. වෛද්‍ය විද්‍යානුකූලව පැලෝපීය නාලයේදී එකතුවන ස්‌ත්‍රී පුරුෂ බීජානු ගර්භාෂයට පැමිණ එහි බිත්තියේ තැන්පත් වන්නේ හත්වැනි වෙනි දවසේය. මේ අනුව බුද්ධ වචනය විද්‍යාත්මකව සත්‍ය වේ.

ආර්ථික තත්ත්වය

ආර්ථික තත්වයද විවාහක ජීවිතයට බලපාන තවත් සාධකයකි අඩ දබර ඇති වීමට මෙම සාධකය එතරම්ම බල නොපෑවත් සාර්ථක පවුල් ජීවිතයක්‌ ගෙන යාමට යහපත් ආර්ථිකයක්‌ උපකාරිවේ. ආර්ථික දුෂ්කරතාවයන් ඉදිරි දොරටුවෙන් ගෙට එන විට ආදරය පෑල දොරින් පිටවී යනවායයි පැරුන්නෝ කියන්නේ මෙම නිසාය. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙන් මෙලොව දියුණුqවට හේතු 4 ක්‌ දේශනා කර තිබේ. එනම්,

1. උට්‌ඨාන සම්පදා 2. ආරක්‌ඛ සම්පදා 3. කල්‍යාන මිත්තතා 4. සම ජීවිකතාව යනුයි. 

ආරක්‌ඛ සම්පදා යනු තමා උපයා ගත් ධනය ආරක්‌ෂා කිරිමයි සොර සතුරන් ගෙන් ගින්නෙන් ජලයෙන් සේම අනවශ්‍ය වියහියදම්වලින්ද උපයා ගත් ධනය ආරක්‌ෂා කරගත යුතු බව බුදුරජානන් වහනසේ දේශනා කර ඇත.

එකිනෙකා අගය කිරීම

සෑම කෙනෙක්‌ම විවාහ වන්නේ තම සහකරුවාගේ හෝ සහකාරියගේ කුමක්‌ හෝ අංගයක්‌ අගය කිරීම නිසාය. එය බොහෝ විට ශාරීරික ලක්‌ෂණයක්‌ය. සමහර විට ගතිගුණය නැතිනම් කුමන හෝ දක්‌ෂතාවයක්‌ය බොහෝ අය මෙම අගය කිරීම කරන්නේ විවාහවීමට පෙර පමණි. විවාහ වීමෙන් පසු මෙම අගය කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී යයි. එපමණක්‌ නොව වෙන අය අගය කිරීමටද පටන් ගනී. මෙය ප්‍රීතිමත් පවුල් ජීවිතයකට විශාල බාධාවක්‌ වේ. විවාහ වූ පසුද තම බිරිඳ හෝ ස්‌වාමි පුරුෂයා පෙර සේම අගය කළ යුතුය. ඇයගේ රූ සපුවට එදා මෙන්න කවදත් කැමති විය යුතුය. ගතිගුණ කවදත් වර්ණනා කළ යුතුය. දක්‌ෂතා අගය කළ යුතුය අනුන් ඉදිරියේ අඩුපාඩු විවේචනය නොකළ යුතුය. 

මේ සියල්ලම සේම පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු වේ. එම නිසා පවුල් ජීවිතයක්‌ සාර්ථක කර ජීවිතය සතුටින් ගෙවීමට බුදුදහමේ මාර්ගෝපදේශකත්වය තරම් පහෝපකාරී වන අන් මගක්‌ තවත් නැත.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ